ශ්‍රී ලාංකික ලේඛකයන් විසින් රචිත ග්‍රන්ථ එකතුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

ශ්‍රී ලාංකික ලේඛකයන් විසින් රචිත ග්‍රන්ථ එකතුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් තවදුරටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකීය ලේඛකයින් විසින් රචනා කරන ලද ළමා කෘති අනූ දෙකක එකතුවක් පෙබරවාරි මස 09 වැනි දින අම්මාන් හි පිහිටි අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලයේ ළමා අංශය වෙත ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් ප්‍රදානය කෙරිණි.

දිවංගත සිබිල් වෙත්තසිංහ, කුසුම් දිසානායක, ජේ.බී. දිසානායක ඇතුළු අනෙකුත් ප්‍රකට ලේඛක ලේඛිකාවන් විසින් රචිත ළමා කෘති සඳහා ම වෙන් වූ සාහිත්‍ය අංශයක් එම පුස්තකාලය තුළ ම ස්ථාපනය කිරීමට නියමිතය. මෙම වැඩසටහනින් අනතුරුව පැවති සාකච්ඡාවේදී තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ග්‍රන්ථ එකතුවට තවත් කෘති ගණනාවක් එක් කිරීමට නියමිත බව පැමිණ සිටි නිලධාරීන් වෙත දැනුම් දුන්නාය.

තවද, පුස්තකාලයට පැමිණෙන ජෝර්දාන ජනතාවට ශ්‍රී ලාංකීය සෙල්ලම් බඩු ප්‍රසිද්ධ කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඩීඑස්එල් ලංකා සමාගම නිර්මාණය කළ කාබනික “බෝනික්කා” (Organic “Bonikka”) නම් එකතුවෙන් අත්කම් කළ රෙදි බෝනික්කන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට වෙන් වූ අංශයේ තැබීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පිරිනමන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2022 පෙබරවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close