ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් එක්සත් රාජධානියේ සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට සූදානමින්

ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් එක්සත් රාජධානියේ සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට සූදානමින්

2022 අගෝස්තු 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් ඇතිව ශ්‍රී ලංකාවේ වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා  ආයතනය (IIHS) විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන යටතේ පුහුණුව ලත් පළමු හෙද කණ්ඩායම මෙය වේ.

පත්වීම්ලාභීන්ට සුබ පතමින්, වඩාත් දියුණු සෞඛ්‍ය පද්ධතියක විශිෂ්ට වෘත්තියක් කරා යන ඔවුන්ගේ ගමන මේ වන විට ආරම්භ වී ඇති බවත්, ශ්‍රී ලාංකික සත්කාරක වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා අපේ රටේ නියෝජිතයන් වීමට ඔවුන්ට ආරාධනා කරන බවත් අමාත්‍ය සබ්රි මැතිතුමා පැවසීය. “ඔබේ සාර්ථක වෘත්තීන් අනාගතයේ දී ශ්‍රී ලංකාවට තවත් අවස්ථා සහතික කරනු ඇති අතර, ඔබේ විශේෂඥභාවය සහ පුහුණුව සමඟින්, ඔබ එක්සත් රාජධානියේ අපගේ කීර්ති නාමය තවදුරටත් ඉහළ නංවනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ද ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ දූරදර්ශී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා  ආයතනයට සහ එක්සත් රාජධානියේ එහි අනුග්‍රාහක නියෝජිතායතනවලට ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, රට විදේශ මුදල් ප්‍රේෂණ වැඩි කිරීම සඳහා වන සියලු මාර්ග ගවේෂණය කරමින් සිටින අතරතුර දී, මෙමඟින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට විදේශ රැකියා ලබා ගැනීමට හැකි වනු ඇති බව සඳහන් කළේය.

පත්වීම්ලාභීන් මෙන්ම මෙම වැඩසටහනට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් ද දිරිමත් කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයෙහි නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා මහතා, ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයෙහි සම නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සහ නිලධාරීහු ද සහභාගී වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close