ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසල්ස් හි දී පැවැත්වුණු “Hello Again” සංචාරක ප්‍රවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසල්ස් හි දී පැවැත්වුණු “Hello Again” සංචාරක ප්‍රවර්ධන වැඩසටහන

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  ජාත්‍යන්තර  සංචාරක  කටයුතු    සඳහා ශ්‍රී ලංකාව  නැවත විවෘත කිරීම පිළිබඳ වැඩමුළුවක්   2021 නොවැම්බර් 18වන දින තානාපති කාර්යාලයේදී පවත්වන ලදි. අද්විතීය විශේෂාංග සහ භූ විෂමතා ගවේෂණය කිරීමට මෙන් ම බෙල්ජියමේ සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක ලේඛකයින් සහ වෙනත් සංචාරක වෘත්තිකයන් සමඟ නැවත සම්බන්ධ කිරීමේ පරමාර්ථයෙන් විශාල පරිමාණයෙන් සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව සංචාරකයින් වෙනුවෙන් විවෘතව ඇතැයි යන පණිවුඩය ලබා දීම මෙම වැඩමුළුව පැවැත්වීමේ අරමුණ විය. මෙම වැඩමුළුව සඳහා සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතවරුන්, සංචාරක මාධ්‍යවේදීන්, සංචාරක මාධ්‍ය සහ රූපවාහිනී වෘත්තිකයන්, සංචාරක බ්ලොගර්වරුන්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සහ බෙල්ජියම් සංචාරක ව්‍යපාරය පිළිබඳ තීරණ කාරකයින් 30 දෙනෙක් පමණ සහභාගී වූහ.

මෙම වැඩමුළුව පැවැත්වීමේ මූලිකත්වය ගෙන කටයුතු කළ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපතිතුමිය ග්‍රේස් ආසීර්වාතම් මැතිණිය ගෝලීය සංචාරය සඳහා “Hello Again” ලෙස නම් කළ හෑෂ් ටැග් ලාංඡනයෙන් ශ්‍රී ලංකාව නැවත වරක්  විවෘත කර තිබෙන බවත්  මෙම දිවයින සංචාරකයින් සඳහා අතිශයින් සුරක්ෂිත සහ ප්‍රසන්න ගමනාන්තයක් ‍බවට පත් කිරීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග නිසි පරිදි යෙදීමට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කළා ය. සංචාරකයින් සඳහා අදාළ වන වත්මන් සෞඛ්‍ය රෙගුලාසි, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙන් ම, ශරීර සුවතා සහ වෛද්‍ය සංචාරක, වන්දනා චාරිකා, කුරුල්ලන් නැරඹීම, රළ මත සරුංගල් පැදීම, තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීම, රළ පැදීම සහ දිය යට කිමිදීම, ස්වාදු භෝජන කලාව, සංචාරක රටවල් විසින් පවත්වන රැස්වීම්, දිරිගැන්වීමේ උත්සව, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (MICE), මධුසමය චාරිකා සහ යාත්‍රා කිරීමේ පහසුකම් යනාදී නැගී එන නව වෙළඳපල අංශ පිළිබඳව තානාපති ආසිර්වාතම් මැතිණිය තවදුරටත් විස්තර කළා ය. ලෝක ප්‍රකට මාධ්‍ය සහ සංචාරක ආශ්‍රිත ආයතන වෙතින් ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ජාත්‍යන්තර ඇගයීම් පිළිබඳව ද තානාපතිතුමිය අවධාරණය කළාය.

ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මොනික් ඩි ඩෙකර් මැතිතුමා සහ වෝකර්ස් ටුවර්ස් හි සංචාරක විශේෂඥයෙකු වන රුවන් ද අල්විස් මහතා පිළිවෙලින් ෆ්ලෙමිෂ් සහ ප්‍රංශ භාෂාවෙන් සිය ඉදිරිපත් කිරීම් සිදු කළ අතර බෙල්ජියම් සංචාර සංවිධායකවරුන්ගේ සංගමයේ (ABTO) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන පෝල් රිකාසීස් මහතා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පිළිබඳ සිය අත්දැකීම් ඉදිරිපත් කරමින්  නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් හිතකර ස්ථානයක් ලෙස බෙල්ජියම් සංචාරකයින්ට නිර්දේශ කළේය. මෙම වැඩමුළුව අතරතුර සහභාගිවූවන් වැඩි විස්තර ලබා ගැනීම සඳහා දැඩි උනන්දුවක් දැක්වූ අතර කථිකයන් සමඟ සුහද සබඳතා පැවැත්වීය. මෙම වැඩමුළුව මගින් විවිධ ස්වභාව සෞන්දර්යයන් සහ ශ්‍රී විභූතියෙන්, රන්වන් වෙරළ තීරයෙන් සහ තවත් බොහෝ සංචාරක ආකර්ෂණ ස්ථානවලින් අනූන ශ්‍රී ලංකාව මිහිමත කුඩා ආශ්චර්යයක් ලෙස ඉදිරිපත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන බෙල්ජියම් සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. 2010 වසරේදී බෙල්ජියම් සංචාරකයින් 5300ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2018 දී 17,500 දක්වා වැඩි වී ඇත. 2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයන් නොතකා එම වසරේ බෙල්ජියම් සංචාරකයින් 15,000ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 නොවැම්බර් 22 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close