ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මැතිතුමා හමුවිය. 2022 ජූනි 9 වැනි දින සිංගප්පූරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණ.

සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මැතිතුමා, සිංගප්පූරුවේ මූල්‍යමය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ, සිංගප්පූරු මහ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ මූල්‍ය නියාමක යන තනතුරු දරා ඇත. එතුමා සිංගප්පූරුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කොට ඇත.

අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාළ ගැටළු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පිළිබඳව අමාත්‍ය ෂන්මුගරත්නම් මැතිතුමාට විස්තර කළේය. මෙම ගැටළු විසඳීම පිළිබඳ ඉදිරි කටයුතු සඳහා සිංගප්පූරුවේ සහය ලබා දෙන ලෙස එතුමා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් පරාසයක කරුණු පිළිබඳව අමාත්‍ය දෙපල සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close