ශ්‍රී ලංකා මැණික් රුසියාවේ ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා මැණික් රුසියාවේ ප්‍රවර්ධනය කෙරේ


මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වටිනා පාෂාණ වර්ග රුසියාව තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සහ රුසියානු ස්වර්ණාභරණ සමාගම් අතර B2B අතථ්‍ය හමුවක් 2021 නොවැම්බර් මස 11 වන දින සංවිධානය කරන ලදි. අතථ්‍ය ආකාරයෙන් පැවැත්වුණු මෙම B2B ප්‍රවර්ධන වැඩසටහන සඳහා රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සහ නිෂ්පාදන සමාගම් 35ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීමට මෙම වැඩසටහන තුළින් හැකියාව ලැබිණි.

මෙම අතථ්‍ය හමුව අතරතුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අයෝමා ඩයස් මහත්මිය විසින් රට තුළ වූ සුවිශේෂී වටිනා මැණික් සම්පත සහ එම ක්ෂේත්‍රයේ වැඩිදියුණු වූ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා ද පිළිබඳ ව සඳහන් කරමින් ශ්‍රී ලාංකේය මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් සපයනු ලැබීය. මීට අමතරව සැෆයර් කැපිටල් ගෲප් සහ සැෆයර් කටර්ස් ලිමිටඩ් ආයතනය, රීගල් ජෙම්ස්, පුන්සිරි ජෙම්ස් සහ ප්‍රියන්ත ජෙම්ස් යන ආයතනවල නියෝජිතයින් විසින් සිය මැණික් නිෂ්පාදන ඇතුළත් විස්තර සටහන් සහ ඔවුන්ගේ සමාගම් විසින් සපයනු ලබන සේවාවන් ඉදිරිපත් කරන ලදි.

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය විසින් වෙබිනාර් සැසිය අමතමින් විශේෂයෙන්ම වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් භෞතික අන්තර්ක්‍රියා සීමා වී ඇති පසුබිමක දෙරටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා මෙම අතථ්‍ය ඉසව්වේ වැදගත්කම අවධාරණය කරන ලදි.

රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය යනු ස්වර්ණාභරණ තොග සහ සිල්ලර වෙළඳාම සඳහා පමණක් නොව ස්වර්ණාභරණ සඳහා නවීන වෙළඳපල යාන්ත්‍රණයන් ගොඩනැගීමට මෙන් ම ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සහයෝගීතාවය වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන නිෂ්පාදන ව්‍යවසායන් සඳහා වන ක්ෂේත්‍රයේ විශාලතම විශේෂඥයින්ගේ සංගමය වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 නොවැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close