ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් 11-12 යන දිනවල මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ ස්ථාන පහක් තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවීය.

ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ සේවය කරති. මැලේසියානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය 2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වන හෙයින් “නියමිත කාලයට වඩා රැඳී සිටින” ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය විය. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මෙම පොදු සමා කාලය අවසන් වීමට පෙර තම වීසා කටයුතු විධිමත් කිරීමට අපොහොසත් වුවහොත් නිරායාසයෙන්ම ඔවුන්ව එරට ආගමන නීති උල්ලංඝණය කළ අයවලුන්ගේ ගණයෙහිලා සලකනු ලබන අතර  සිරභාරයට ගැනීම, අධිකරණ ක්‍රියාවලියට ලක් කිරීම සහ ඉන් අනතුරුව පිටුවහල් කිරීම ආදී දඬුවම්වලට ඔවුන්ව යටත් කරනු ලැබේ.

වසර දෙකකට ආසන්න කාලයක් දැඩි සංචරණ සීමා යටතේ පැවති මැලේසියාව මෑතකදී මෙම සංචරණ සීමා ක්‍රමිකව ඉවත් කිරීමට යොමු වුවද, ජොහෝර් ප්‍රාන්තයේ බොහෝ සමාගම් සිය සේවකයන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ක්වාලාලාම්පූර් ප්‍රාන්තයෙන් පිටතට ගමන් කළහොත්  ජොහෝර් ප්‍රාන්තය වෙත නැවත පැමිණීමේ දී නිරෝධායනය විය යුතු බව දිගින් දිගටම දන්වා සිටියහ. එබැවින් චාන්සරි පරිශ්‍රය හරහා කොන්සියුලර් සේවා ලබාගැනීමේ දී සංක්‍රමණික සේවකයන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ අපහසුතා සමනය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය ජොහෝර් ප්‍රාන්තයේ විවිධ ස්ථාන පහක් තුළ ජංගම කොන්සියුලර් සේවා පැවැත්වූ අතර එමගින් මැලේසියාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ වසංගතය ආශ්‍රිත සීමා උල්ලංඝනය නොවන පරිදි කොන්සියුලර් සේවා ලබා ගැනීමට මෙම ශ්‍රමිකයන්ට අවස්ථාව උදාවිය.

මෙම ජංගම කොන්සියුලර් සේවා මගින් පිරිනමන ලද පහසුකම්වලින් ශ්‍රී ලාංකිකයන් 300 කට පමණ ප්‍රතිලාභ සැලසිණි. බොහෝ පිරිසක් ක්‍රියාපටිපාටි සහ පුද්ගලික කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත්හ. එමෙන්ම ඇතැම් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සිය විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය (SLBFE) සමඟ ලියාපදිංචිය අලුත් කිරීම, ලියකියවිලි සත්‍යාපනය කිරීම යනාදිය සඳහා මෙම අවස්ථාව යොදා ගත්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යොදවන සමාගම් කිහිපයක මානව සම්පත් දෙපාර්තමේන්තුවල නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සේවා ස්ථානවලදී මුහුණ දෙන ගැටලු සහ ආරවුල් ගණනාවක් විසඳා ගැනීමට හැකි විය. තවද මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ජොහෝර් හි පිහිටි කර්මාන්තශාලාවල හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා අතරතුරදී 2022 වර්ෂය සඳහා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂාකාරයෙන් රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථා වෙන් කිරීම පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට හැකිවිය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට වෛද්‍යවරුන්ගෙන් සේවා ලබා ගැනීමේ දී භාෂාව සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන බැවින් නිසි ප්‍රතිකාර නොමැතිව බොහෝ දෙනා විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා දූත මණ්ඩලය ජංගම කොන්සියුලර් සේවා සමඟ වෛද්‍ය කඳවුරු ද සංවිධානය කළේය. මැලේසියාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් මෙම ප්‍රයත්නයේ දී දූත මණ්ඩලය සමඟ අත්වැල් බැඳගනිමින් පොදු යහපත උදෙසා සිය සේවය ලබා දුන්නේය. මෙම වෛද්‍ය කඳවුර අතිසාර්ථක වූ අතර වෛද්‍ය උපදේශන ලබා දීම මෙන්ම ඖෂධ නොමිලේ සැපයීම හේතුවෙන් බොහෝ දෙනෙක් සිය කෘතඥතාව පළ කළහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලාම්පූර්

2021 දෙසැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close