ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරය න්‍යාය පත්‍ර අංග 3: සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය 2020 ජූලි 06

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරය න්‍යාය පත්‍ර අංග 3: සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය 2020 ජූලි 06

 
සභාපතිතුමියනි,

සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සතුට පළවෙයි.

ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය, ඔවුන්ගේ රටවලට වඩ වඩාත් වැදගත් වෙමින් පවතිනවා පමණක් නොව කලාපයේ සහ ජාත්‍යන්තරව ඉහළ යන සමාජ-ආර්ථික සංචලනයේ උත්ප්‍රේරකයක් ද වෙයි.

කොවිඩ්-19 අර්බුදය ලොවට ඉගැන්වූයේ සංක්‍රමණික චක්‍රය පුරාම වෙනස් කොට සැලකීමකින් තොරව සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍යය ගැටලු විසදීම සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ හා සාමූහික ප්‍රයත්න අවශ්‍ය බවය. කොවිඩ් -19 හි තවත් ප්‍රතිඵලයක් වන්නේ, රැකියා වෙළඳපොල හැකිලීමයි. එමඟින්, මේ වසරේ රැකියා සඳහා පිටත්ව යන සංක්‍රමණික සේවකයින්ගේ සංඛ්‍යාවේ බරපතල අඩුවක් හා සේවක ප්‍රේෂණවල  පහත වැටීමක් ඇති විය හැකිය.

සභාපතිතුමියනි,

කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවෙහිදී, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 1.5 ක් පමණ විදේශගතව සිටි අතර, ඔවුන්ගේ ගැටළු විසඳීම, අවශ්‍ය අවස්ථාවල දී ආහාර හා ඖෂධ සැපයීම සහ හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ තත්ත්වවලට නීත්‍යානුකූලභාවය ලබාගැනීම සඳහා සහ කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීම ඇතුළුව වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සත්කාරක රටවල් සමඟ කටයුතු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබාදුණි. ඊට අමතරව, මඟ පෙන්වීම සහ තොරතුරු සැපයීම සහ හදිසි අවස්ථාවල දී සහාය වීම සඳහා සකසන කරන ලද 'ශ්‍රී ලංකාව අමතන්න' යන වෙබ් ද්වාරයක් භාවිතා කිරීමත් සමඟ, විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න 13,000 කට අධික සංඛ්‍යාවකට ඒ සඳහා කැපවූ කණ්ඩායමක් විසින් පිළිතුරු සපයමින් රටවල් 120ක් පුරා සිටි, සංක්‍රමණික සේවකයන්ගේ යහපැවැත්ම සහතික කරන ලදී. ‘සමස්ත රජයේ’ ප්‍රවේශයක් උපයෝගී කර ගනිමින් අන්තඃරාජ්‍ය සම්බන්ධීකරණය තුළින් අභියෝග ජයගෙන සෞඛ්‍ය, නිරෝධායන සහ සංචාරක සැපයුම් අංශ කළමනාකරණය කිරීමට අපට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ පහසුකම් හා නිරෝධායන ධාරිතාවයන් යන අංශ දෙක සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා රජයට තිබූ අභියෝග නොතකා, 2020 ජුලි 06 වන විට, මාස 2කට ආසන්න කාලයක් පුරා මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් මගින් ශ්‍රී ලාංකිකයන් 14,006ක් එම රටවලින් ඉවත්කරගන්නා ලද අතර ඉන් 5125 (36.59%) සංක්‍රමණික සේවකයන් විය. ශ්‍රී ලංකාව විශාල සංක්‍රමණික සේවක පිරිසක් සිටින සියලුම ගමනාන්ත වෙත අවම වශයෙන් ආපසු ගෙන්වා ගැනීමේ එක් ගුවන් ගමනක් හෝ ක්‍රියාත්මක කර ඇති අතර මාලේ, ඩුබායි, කටාර්, ඩකා සහ සිංගප්පූරුව වෙත ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රැකියා අහිමිවූ සංක්‍රමණික කම්කරුවන් 40,000 කට ආසන්න සංඛ්‍යාවකගේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

සභාපතිතුමියනි,

සංක්‍රමණික ජනගහනයේ අනාගත කළමනාකරණය සඳහා සංක්‍රමණික සේවකයින්ගේ සෞඛ්‍යය ඉතා වැදගත් වන බවත් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ එය හඳුනාගෙන ඇති බවත් සැලකිල්ලට ගත යුතුය. 2013 දී සෞඛ්‍ය අමාත්‍යාංශය, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ එක්ව 'ජාතික සංක්‍රමණ සෞඛ්‍ය ප්‍රතිපත්තිය' දියත් කළ අතර එමඟින්, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු කිරීම් සිදුකරන අතර රටතුළට පැමිණෙන හා රටින් පිටතට යන සංක්‍රමණිකයන් සඳහා සෞඛ්‍ය තක්සේරු කිරීම්වලට ප්‍රමිති සකස්කිරීමේ දී තාක්ෂණික සහාය ලබා දෙයි. රටතුළට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ  ප්‍රධාන උපායමාර්ගික අංශයක් යටතේ ප්‍රමුඛතාවය ලැබිය යුතු යැයි හඳුනාගෙන ඇති අංශයක් වූයේ ශ්‍රී ලංකවට ඇතුල්වන වරාය වල ප්‍රධාන ධාරිතාව සහ නිරෝධායන ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි. සංක්‍රමණික සෞඛ්‍යය පිළිබඳ 2 වන ගෝලීය උපදේශනය 2017 පෙබරවාරි 21 සිට 23 දක්වා දිනවල දී කොළඹ දී පැවැත්වීමට සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ හවුල් වී ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරන ලදී.  සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍යය නංවාලීම සඳහා බහු ආංශික සංවාද හා දේශපාලන කැපවීම ඇතිකිරීමට එමඟින්  වේදිකාවක් සපයන ලදී. අයිතිවාසිකම් පදනම් කරගත්, ජනතාව කේන්ද්‍ර කරගත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතා රාමුවක් තුළ තේමාගත ක්ෂේත්‍ර තුනක් කෙරෙහි මෙහි දී අවධානය යොමු කරන ලදී.  මීට අමතරව, ශ්‍රී ලංකාව 2013-2017 සිට කොළඹ ක්‍රියාවලියේ ද,  2016-2018 සිට අබුඩාබි සංවාදයේ ද සභාපතිත්වය ඉසුලූ හෙයින්, සංක්‍රමණික සෞඛ්‍යය පිළිබඳව නිසි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ. සංක්‍රමණික සේවකයින්ගේ මෙන්ම සේවකයන් යැවුම්කාර හා ලැබුම්කාර රටවල යහපත උදෙසා පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි වැදගත් කලාපීය ක්‍රමවේදයන් සැලසුම් කිරීමට මෙමගින් ඉඩප්‍රස්ථාව උදාකරලීය.
ප්‍රත්‍යෙක්ෂණය කිරීමේ දී, ශ්‍රී ලංකාව විසින් මූලිකත්වය ගෙන කටයුතු කළ  'සංක්‍රමණික සෞඛ්‍යය' පිළිබඳ ප්‍රශ්නයට එකල ජාත්‍යන්තර අවධානය යොමු වූයේ නම්, කොවිඩ් -19 අර්බුදය කළමනාකරණය කිරීමේ  විශේෂයෙන් වෛද්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය සීමිතව පවතින සත්කාරක රටවල අතරමංව සිටින ලේඛනගත නොවූ කම්කරුවන් සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් සිදුවිය යුතුව තිබූ බව අපි විශ්වාස කරමු.

සංක්‍රමණික ජනගහනය අනාගත කළමනාකරණයේ දී ‘සංක්‍රමණික සෞඛ්‍යය’ එහි පාදස්ථයක් බවට පත්වීම සහතික කිරීම සඳහා කලාපීය හා ගෝලීය වශයෙන් විශාල ප්‍රයත්නයක් දැරිය යුතු බවත්, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ඇතුළු සැමට සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ මානව අයිතිය සුරක්‍ෂිත කළ යුතු බවත් ශ්‍රී ලංකාව තරයේ කියා සිටී.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close