ශ්‍රී ලංකා නිෂ්පාදන ඉස්මතු කිරීම සඳහා ච්‍යුයින්තාඕ හි වෙළඳ ප්‍රදර්ශන කලාපය

ශ්‍රී ලංකා නිෂ්පාදන ඉස්මතු කිරීම සඳහා ච්‍යුයින්තාඕ හි වෙළඳ ප්‍රදර්ශන කලාපය

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ච්‍යුයින්තාඕ, ජියාඕජොව් හි 2021 ඔක්තෝම්බර් 27-28 අතර කාලයේදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට  සහභාගී විය

ච්‍යුයින්තාඕ ප්‍රාන්ත මහජන රජය, චීන-ස්කෝ (China-SCO) දේශීය ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා වන ප්‍රදර්ශන කලාපීය කළමනාකරණ කමිටුව, චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වන චොංයැං ආයතනය සහ ජියාඕජොව් නාගරික මහජන රජය විසින් සම-සංවිධානය කෙරුණු මෙම සංසදය සඳහා සත්කාරකත්වය සපයනු ලැබුවේ ච්‍යුයින්තාඕ නාගරික මහජන රජය විසිනි.  ස්කෝ රටවල කාර්මික දාමයේ සහ මූල්‍ය වෙලඳපල සහ ප්‍රාග්ධන වෙලඳපොලවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ ච්‍යුයින්තාඕ, ෂන්දොන්ග් පළාත්වල සහ ස්කෝ රටවල් අතර පුළුල් ගනුදෙනු සහ සහයෝගිතාව පුළුල් කිරීම මෙම සංසදයේ ඉලක්කය විය.

ප්‍රාග්ධන වෙලඳපොල පුළුල් කිරීම, ජාත්‍යන්තර ගනුදෙනු සඳහා රෙන්මින්බි ජාත්‍යන්තරකරණය (RMB) භාවිත කිරීම, ස්කෝ කලාපීය වෙළඳාම සහ ආයෝජන දිරිගැන්වීම යනාදිය සංසදය ගවේෂණය කළේය. විදේශීය සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ ව්‍යවසායික නියෝජිතයින් 30කට අධික සංඛ්‍යාවක් මෙන් ම, මහා පරිමාණ දේශීය හා විදේශීය මූල්‍ය ආයතන සහ ව්‍යවසායන් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙම සංසදය සඳහා සහභාගී වූහ.

එම සංසදය අමතමින් තානාපති ආචාර්ය කොහොන මැතිතුමා, චීන වෙළඳපො‍ළ තුළ සාමාජික රටවල නිෂ්පාදන සඳහා ප්‍රාමාණික ප්‍රවේශයක අවශ්‍යතාවය අවධාරණය කළේය. ඉන්පසුව, ස්කෝ සාමාජිකයින් හට ගෝලීය පාරිභෝගික වෙළඳපොලේ තම නිෂ්පාදන ඉස්මතු කිරීමට උපකාර කිරීම සඳහා ඉදිවෙමින් පවතින ස්කෝ ප්‍රදර්ශන කලාපයේ (ස්කෝඩා-SCODA) නිරීක්ෂණ චාරිකාවක් සඳහා තානාපති කොහොන මැතිතුමා ව කැඳවාගෙන යනු ලැබිණි. ස්කෝ හි ඇතැම් සාමාජික රටවල් විසින් දැනටමත් තම වෙළඳ ප්‍රදර්ශන කුටි පිහිටුවා තිබිණි. ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශන කුටිය නිම කිරීමට සංවිධායකයින් පොරොන්දු වූ අතර අලෙවිය සඳහා තවත් ශ්‍රී ලංකා නිෂ්පාදන ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. ඉතා දියුණු නගරයක් වන ච්‍යුයින්තාඕ නගරය, යුරෝපීය නගර සමඟ සම්බන්ධ වන දුම්රිය ජාලයේ පර්යන්තවලින් එකකි.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා, ච්‍යුයින්තාඕ නාගරික රජයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලියූ ජියැන්ජුන් මහතා සහ ජියාඕජොව් නාගරික පක්ෂ ලේකම්, මොවු ජුන්තියෑන් මහතා, ච්‍යුයින්තාඕ හි විදේශ කටයුතු අධ්‍යක්ෂ මෙන් ම ස්කෝ ප්‍රදර්ශන කලාපීය කළමනාකරණ කමිටුවේ නිලධාරීන් හමුවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,

බීජිං

 

2021 නොවැම්බර් මස 02

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close