"ශ්‍රී ලංකා දිනය - 2021" (Sri Lankan Day) පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනය

“ශ්‍රී ලංකා දිනය – 2021” (Sri Lankan Day) පොත් සහ සංස්කෘතික ප්‍රදර්ශනය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රුසියානු රාජ්‍ය පුස්තකාලය (RSL) සමඟ එක් ව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සිලෝන් තේ, සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 නොවැම්බර් මස 23 වන දින රුසියානු රාජ්‍ය පුස්තකාලයෙහි පෙරදිග සාහිත්‍ය මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේදී  “ශ්‍රී ලංකා දිනය - 2021” නමින් වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, සම්ප්‍රදායන් සහ සුවිශේෂී සිරිත් විරිත්, සිලෝන් තේ, දිවයිනේ සුන්දර දසුන් සහ ආකර්ශනීය ස්ථාන පිළිබඳව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විස්තරාත්මක ඉදිරිපත් කිරීම් මෙම අවස්ථාවට ඇතුළත් විය. සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමත්, වීසා ක්‍රියාවලිය ලිහිල් කිරීමත් සමඟ රුසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීමේ පහසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියෝජිතයෙකු විසින් මෙහි දී අවධාරණය කෙරිණි. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නැටුම්, තානාපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන සිංහල භාෂා පාඨමාලාවේ සිසු සිසුවියන් සහ රුසියානු තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද සිංහල ගීත ගායනා වැඩසටහන මෙන් ම බතික් ඇඳුම් සහ ශ්‍රී ලාංකීය මංගල ඇඳුම් ඇතුළත් විලාසිතා දැක්මකින් සමන්විත වූ විචිත්‍ර අංගවල එකතුවක් ප්‍රේක්ෂකයන් හට රස විඳීමට අවස්ථාව ලැබිණි.

සංස්කෘතිය, වෙළඳ, සංචාරක, තේ ආශ්‍රිත ක්ෂේත්‍රයන් මෙන් ම රුසියානු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් අමුත්තන් 30 දෙනෙකු පමණ මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිත ඒ ලියනගේ, රුසියානු රාජ්‍ය පුස්තකාලයෙහි හි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නතාලියා සමොයිලෙන්කො සහ රුසියානු රාජ්‍ය පුස්තකාලයීය පෙරදිග සාහිත්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිකයිල් මිලැන්යින් යන මහත්ම මහත්මීහු මීට සහභාගී වූහ.

මෙම අවස්ථාවේ තානාපති කාර්යාලය ජාතික ශිල්ප සභාව වෙතින් ලැබුණු සංස්කෘතික භාණ්ඩ රැසක් රාජ්‍ය පෙරදිග කලා කෞතුකාගාරයට සහ 'පීටර්' මානව විද්‍යාව සහ ජනවාර්ගික විද්‍යාව පිළිබඳ මහා කෞතුකාගාරය වෙත (කුන්ස්ත්කමේරා) පරිත්‍යාග කරන ලදි.  රුසියානු රාජ්‍ය පුස්තකාලය සහ එහි පෙරදිග සාහිත්‍ය මධ්‍යස්ථානය වෙත සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද රුසියානු කෘති ද මෙහි දී පරිත්‍යාග කරනු ලැබිණි.

2021 නොවැම්බර් 23 සිට 30 දක්වා රුසියානු රාජ්‍ය පුස්තකාලයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේ කෘති අතරට සිංහල, දෙමළ, රුසියානු සහ ඉංග්‍රීසි භාෂා කෘති ඇතුළුව පනහකට අධික ප්‍රකාශන ප්‍රමාණයක් පාඨකයින් හට හඳුන්වා දෙනු ලැබිණි.මෙහි දී ශ්‍රී ලංකාවේ සංස්කෘතික වැදගත්කමක් සහිත එදිනෙදා ජීවිතයේ දී ශ්‍රී ලංකාවේ ජනයා විසින් භාවිත කරනු ලබන බොහෝ වස්තූන් : සම්ප්‍රදායික ඇඳුම්, චාරිත්‍ර වාරිත්‍ර සහ නෘත්‍ය අංග සඳහා භාවිතා කරන ලී වෙස් මුහුණු, සංගීත භාණ්ඩ, ස්වර්ණාභරණ සහ ආභරණ පෙට්ටි,පිත්තල භාණ්ඩ, බතික් චිත්‍ර යනාදියතානාපති කාර්යාලය මඟින් මෙම ප්‍රදර්ශනය සඳහා සපයනු ලැබිණි.

වසංගත සීමාවන් හේතුවෙන් තානාපති කාර්යාලයීය නිල වෙබ් අඩවියට ඇතුළුවීම සීමා කර ඇති බැවින් උත්සවය නැරඹීමට නොහැකි වූවන්ට තානාපති කාර්යාලයේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මාර්ගගත ක්‍රමයට මෙම උත්සව අවස්ථාව නැරඹීමට හැකි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 03වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close