ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානියා හමුවෙයි

ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානියා හමුවෙයි

ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්. විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා 2022 මාර්තු 13 වැනි දින ඉරාන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානී අබ්දොල්නසර් ඩෙරක්ෂාන් මහතා  ටෙහෙරානයේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවිය. තානාපතිවරයා පිළිගත්  පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානියා, දෙරට අතර පවත්නා වසර 60 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා, දෙරටෙ හි ද්විපාර්ශ්වික අන්තර් සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා අගනා අවස්ථාවක් නිර්මාණය කොට ඇති බව අවධාරණය කළේ ය. වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මය, බලශක්තිය, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටට හැකි වන පරිදි රාජ්‍යතාන්ත්‍රික සහ පාර්ලිමේන්තු සබඳතා වඩාත් සක්‍රීය කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ද එතුමා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඉරානය ඉතා හොඳ මිතුරන් වන බවත්, විශේෂයෙන්ම මානුෂීය වෙළෙඳාම, කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, උසස් අධ්‍යාපනය, තරුණ හා ක්‍රීඩා කටයුතු, විදුලිබලය හා බලශක්තිය, සංස්කෘතිය හා කලාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය සම්බන්ධයෙන් කළ හැකි සියලුම දේ දෙරටම ක්‍රියාත්මක කරන බවත්, තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.

2017 වසරේ දී ශ්‍රී ලංකාවේ කථානායකවරයා ඉරානය තුළ සිදු කළ සංචාරය  සහ 2018 වසරේ දී ඉරාන කථානායකවරයා ශ්‍රී ලංකාව තුළ  සිදු කළ සංචාර පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය.  මිත්‍රත්ව සමූහ පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා, ඉරාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම හරහා දෙරට අතර සිදු කෙරෙන පාර්ලිමේන්තු හුවමාරුව යළි ප්‍රබෝධමත් වන බවත්, ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් වන බවත් සඳහන් කළේ ය.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම  සඳහා තම සමූහයේ සාමාජිකයන් කැමැත්තෙන් පසුවන බව, පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ ප්‍රධානී ඩෙරක්ෂාන් මහතා ප්‍රකාශ කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා, ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සඳහා සංචාර හුවමාරු කර ගැනීම සහ අන්තර්ක්‍රියා වැඩි කිරීම ඇතුළත් වැඩ සැලැස්මක් සකස් කරන ලෙස, ඉරාන පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. මෙම ඵලදායී සාකච්ඡාව අවසන් කළ තානාපතිවරයා, ඊට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඉරාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානී අබ්දොල්නසර් ඩෙරක්ෂාන් මහතා වෙත සිය ස්තුතිය පුද කළේ ය.

මිත්‍රත්ව සමූහයේ සාමාජික ෆටේමේ රහ්මානි මහතා,  ඉරාන විදේශ අමාත්‍යාංශයේ විශේෂඥ මොහමඩ් ඩෙල්ධාරි මහතා සහ සමූහයේ ලේකම් සල්මාන් බබෙයි මහතා යනාදීහු ද මෙම හමුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2022 මාර්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close