ශ්‍රී ලංකා - ජෝර්දාන ව්‍යාපාරික කවුන්සිලය ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා – ජෝර්දාන ව්‍යාපාරික කවුන්සිලය ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දාන ව්‍යාපාරිකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සමඟ එක්ව අතථ්‍ය අයුරින් වෙබිනාර් වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී වාණිජ මණ්ඩල දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්,ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මැතිනිය සහ ඉන්දියාවේ සිටින, ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ජෝර්දාන තානාපති මුහම්මද් අල් කයෙඩ් මැතිතුමා යනාදීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම ශ්‍රී ලංකා-ජෝර්දාන ව්‍යාපාරික කවුන්සිලය ස්ථාපිත කෙරිණි. මෙම උත්සවය අතරතුර දී සභාපති හම්ඩි තබ්බා මහතා සහ NCE හි සභාපති රවී ජයවර්ධන මහතා විසින් දෙරටෙහි ව්‍යාපාර මණ්ඩල දෙක අතර ගිවිසුමක් සඳහා අත්සන් තබන ලදී.

තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම මගින්, ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීමට සහ දෙරටටම ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමට වටිනා වේදිකාවක් නිර්මාණය වනු ඇතැයි තානාපතිනි දිසානායක මැතිනිය සිය දේශනය අතරතුර දී අවධාරණය කළාය. ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික නොවන වෙළඳපොළක් ලෙස නොසලකන ලෙසත්, විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ පවත්නා,  මෙතෙක් භාවිතයට නොගත් විභවයන් ගවේෂණය කරන ලෙසත් තානාපතිනිය ජෝර්දාන ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියා ය.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක මහතා ජෝර්දාන ආයෝජකයන්ට  ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, ජෝර්දාන ආයෝජන අමාත්‍යංශයේ කුසේරි මහතා ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආයෝජන වාතාවරණය සහ ආයෝජන අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය. ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂිකා එම්. වන්නිආරච්චි මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා - ජෝර්දාන ව්‍යාපාරික සංවාදය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම,  ජෝර්දානය තුළ ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා ඉහළ දැනුම්වත් කිරීම් සහ සන්නාම හඳුන්වාදීම් සම්පාදනය කිරීම සඳහා ව්‍යාපාර මණ්ඩල දෙකෙහිම සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපාරාන්තර වැඩසටහනක් තානාපති කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2021 දෙසැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close