ශ්‍රී ලංකා ආහාර සමාගම් ගණනාවක් 2021 ගුවැන්ෂූ ලෝක කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගී වේ

 ශ්‍රී ලංකා ආහාර සමාගම් ගණනාවක් 2021 ගුවැන්ෂූ ලෝක කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගී වේ

ගුවැන්ෂූ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් 2021 නොවැම්බර් 8 සිට 9 දක්වා පැවති ගුවැන්ෂූ ලෝක කෘෂිකර්ම ප්‍රදර්ශනය සඳහා චීනය පදනම් කරගත් ශ්‍රී ලංකා ආහාර සමාගම් නියෝජිතයින්ගේ සහභාගීත්වය සම්බන්ධීකරණය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ, බිස්කට්, කුළුබඩු සහ කිතුල් පැණි’ ඇතුළු ශ්‍රී ලංකා නිෂ්පාදන ප්‍රවර්ධනය සහ අලෙවි කරන ලදි.

2019 වර්ෂයේ ගුවැන්ෂූ හි දී මෙම ප්‍රදර්ශනය ප්‍රථම වරට පවත්වනු ලැබූ අතර කොන්සල් කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන් ආරම්භ කර සම්බන්ධීකරණය කරන ලදි. එම කාලය තුළ මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් කිහිපයක් සහභාගී වූ අතර වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද වෙළඳ පාර්ශවකරුවන් ගැළපුම් වැඩසටහනකට ද 2020 වර්ෂයේදී සහභාගී විය. තම නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් කිහිප දෙනෙකු තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා සමාගම්වලට හැකි විය.

ජාත්‍යන්තර වෙළඳාම සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට මෙන් ම කෘෂිකාර්මික නිෂ්පාදන සැපයුම් දාමයන් ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස කටයුතු කිරීමට මෙම ප්‍රදර්ශනය අරමුණු කරයි.

ගුවැන්ෂූ හි කොන්සල් කාර්යාල කිහිපයක් ඇතුළු ව චීනයේ වෙසෙන දේශීය හා විදේශීය ව්‍යවසායකයින් 150 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ අතර 150 කට අධික ගැනුම්කරුවන් පිරිසක් ඊට සහභාගී විය. මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා නරඹන්නන් 6000කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ගුවැන්ෂූ

2021 නොවැම්බර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close