ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතර පැවති අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුව

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතර පැවති අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුව

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතර පැවති අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුව

අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුව පිළිබඳ ශ්‍රී ලංකා - ඉන්දියා ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

මිත්‍රත්ව මග - දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත

  1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද දින අතථ්‍ය සමුළුවක් පැවැත්වූ අතර, එහි දී ඔවුන් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබව සාකච්ඡා කළහ.
  2. 2020 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී තීරණාත්මක ජනවරමක් සහිතව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය. එම සුබ පැතුම් වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා තමන් දක්වන උනන්දුව පිළිබඳව ප්‍රකාශ කළේය.
  3. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිවෙලින් 2019 නොවැම්බර් සහ 2020 පෙබරවාරි මාසවල දී නිරත වූ සාර්ථක ඉන්දියානු රාජ්‍ය සංචාර පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළම සිහිපත් කළහ. මෙම සංචාර මඟින් දෙරට අතර සබඳතාවයේ අනාගතය පිළිබඳව පැහැදිලි දේශපාලන මඟ පෙන්වීමක් සහ දැක්මක් ලබා දෙන ලදී.
  4. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහි සටනේ දී, කලාපයේ රටවලට අන්‍යෝන්‍ය සහයෝගය සහ ආධාර ලබා දීම පිළිබඳ දැක්මක් මත පදනම්ව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ලබා දුන් ශක්තිමත් නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගය කළේය. ද්විපාර්ශ්වික සබඳතාවලට අමතර ශක්තියක් ලබා දීම පිණිස වර්තමාන තත්ත්වය මඟින් නව අවස්ථාවක් ලබා දී ඇති බවට නායකයින් දෙපළම එකඟ වූහ. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමඟ කටයුතු කිරීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා සමීපව ක්‍රියා කිරීම පිළිබඳව නායකයන් දෙදෙනාම සතුට පළ කළහ. මෙම ගෝලීය වසංගතයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පිණිස ඉන්දියාව අඛණ්ඩව කැපවන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා යළිත් තහවුරු කළේය.
  5. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයට තවදුරටත් ශක්තියක් ලබා දීම සඳහා:

i.බුද්ධි අංශ, තොරතුරු හුවමාරු කර ගැනීම, රැඩිකලීකරණය තුරන් කිරීම සහ ධාරිතා වර්ධනය යන ක්ෂේත්‍ර ඇතුළුව ත්‍රස්තවාදය සහ  මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා වන සහයෝගීතාවය වැඩි දියුණු කිරීම.

 ii.රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්ට අනුකූලව ඵලදායී හා කාර්යක්ෂම සංවර්ධන හවුල්කාරිත්වය දිගටම කරගෙන යාම සහ 2020-2025 කාල සීමාව සඳහා ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDP) ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ තවදුරටත් පුළුල්ව දීප ව්‍යාප්ත ලෙස කටයුතු කිරීම.

  iii. 2017 මැයි මාසයේ දී අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා නිරත වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ප්‍රකාශයට පත් කරන ලද පරිදි, වතුකරයේ නිවාස ඒකක 10,000 ක් ඉදිකිරීම කඩිනමින් නිම කිරීම සඳහා එක්ව කටයුතු කිරීම.

  iv.දෙරට අතර වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා ශක්තිය දෙන පරිසරයක් සඳහා පහසුකම් සැපයීම සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය මඟින් එල්ල කරන ලද අභියෝග පිළිබඳ පසුබිම තුළ සැපයුම් දාම ඒකාබද්ධ කිරීම වැඩිදියුණු කිරීම.

v. ද්විපාර්ශ්වික ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම්වලට අනුකූලව, සමීප උපදේශන මගින් වරාය හා බලශක්ති ක්ෂේත්‍ර ඇතුළු යටිතල පහසුකම් හා සම්බන්ධකතා ව්‍යාපෘති ඉක්මණින් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වයක් සඳහා ශක්තිමත් ලෙස කැපවීම.

vi.ඉන්දියාවෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකම යටතේ, සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

vii.කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, විද්‍යාව හා තාක්‍ෂණය, සෞඛ්‍ය සේවා සහ ආයුෂ්(ආයුර්වේද,යෝග,යුනානි,සිද්ධ හා හෝමියෝපති  චිකිත්සාව) යන ක්ෂේත්‍රවල තාක්‍ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම, වෘත්තිකයින් පුහුණු කිරීම ඉහළ නැංවීම තුළින් නිපුණතා සංවර්ධනය කිරීම මඟින් දෙරටේ ජන විකාශන ලාභාංශ පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීම.

viii. ශිෂ්ටාචාරික සබඳතා සහ බුද්ධ ධර්මය, ආයුර්වේදය හා යෝග ක්‍රම වැනි පොදු උරුමයන් පිළිබඳව පවතින අවස්ථා ගවේෂණය කිරීම තුළින් පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම. විශේෂ බෞද්ධාගමික වැදගත්කමකින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගැනීම තුළින් මෑතක දී ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පූජනීය නගරයක් වන කුෂිනගර් වෙත ශ්‍රී ලංකාවේ සිට ගමන් ගන්නා බෞද්ධ බැතිමතුන් පිරිසකගේ සංචාරයක් සඳහා ඉන්දීය රජය විසින් පහසුකම් සපයනු ඇත.

ix. කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා ඇති වන තර්ජනය පිළිබඳව සිහියේ තබාගනිමින් සහ අවශ්‍ය සියලු වැළැක්වීමේ පියවර ගනිමින්, සම්බන්ධකතාවය වැඩි දියුණු කිරීම සහ සංචාර නැවත ආරම්භ කිරීම සඳහා දෙරට අතර ගුවන් බුබුලක් ඉක්මනින් ස්ථාපිත කිරීම තුළින් සංචාරක කටයුතු සඳහා පහසුකම් සැපයීම.

x. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ඇතුළුව, පවත්නා රාමු සහ හවුල් අරමුණුවලට අනුව නිතිපතා උපදේශනය සහ ද්විපාර්ශ්වික මාර්ග ඔස්සේ ධීවරයින් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා දිගින් දිගටම නිරත වීම.

 xi.අන්‍යෝන්‍ය වශයෙන් භට පිරිස්වල සංචාර හුවමාරු කර ගැනීම, සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය සහ ආරක්ෂක කටයුතු යන අංශවල දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම ඇතුළුව දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම.

යන කරුණු සඳහා නායකයන් දෙපළ එකඟ වූහ.

  1. දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර ලබා දෙන බවට කරන ලද නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතුටින් පිළිගත්තේය. අනෙකුත් කරුණු ද ඇතුළුව, බෞද්ධ ආරාම ඉදිකිරීම/ප්‍රතිසංස්කරණය කිරීම, ධාරිතා සංවර්ධනය, සංස්කෘතික හුවමාරු, පුරාවිද්‍යාත්මක සහයෝගීතාවය, සර්වඥ ධාතූන් වහන්සේලා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රදර්ශනය කිරීම, බෞද්ධ විද්වතුන් හා පූජ්‍ය පක්ෂය සම්බන්ධ කර ගැනීම ශක්තිමත් කිරීම යනාදිය තුළින්, බුද්ධාගම තුළ දෙරට අතර ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමට මෙම ප්‍රදානය සහාය වනු ඇත.
  2. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.
  3. නායකයන් දෙපළම, සාර්ක් සංවිධානය, බිම්ස්ටෙක්, අයෝරා සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය ආදී රාමූන් ඇතුළුව අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳ කලාපීය හා ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ඒකරාශී වීම  වැඩි වන බව පිළිගත්හ.
  4. දකුණු ආසියාව අග්නිදිග ආසියාව හා සම්බන්ධ කරන කලාපීය සහයෝගීතාවය පිළිබඳ වැදගත් වේදිකාවක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ සාර්ථක බිම්ස්ටෙක් සමුළුවක් පැවැත්වීම සහතික කිරීම සඳහා නායකයින් දෙදෙනාම එකඟ වූහ.
  5. 2021-2022 කාල සීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයෙකු ලෙස ඉන්දියාව පත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලද ප්‍රබල සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැතිතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

 

කොළඹ

2020 සැප්තැම්බර් 26 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close