ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා  ශක්තිමත් කිරීම පිළිබද දෙරටේ ම අවධානය යොමු වේ

ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා  ශක්තිමත් කිරීම පිළිබද දෙරටේ ම අවධානය යොමු වේ

ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර  වෙළඳ, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, ජනතාව ජනතාව අතර සබඳතා, අධ්‍යාපනය සහ දෙරටෙහි ව්‍යවස්ථාදායකයන් අතර සහයෝගිතාව වැනි  ද්විපාර්ශ්වික  සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙරටේ ම අවධානය යොමුව තිබේ.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය මැයි මස 24 වන දින බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මහතා හමුවූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ලන්ඩනයේ සිටින දූත මණ්ඩල ප්‍රධානින් මුණ ගැසීම සඳහා වූ ශ්‍රීමත් ලින්ඩ්සේගේ වැඩසටහන අනුව මෙම හමුව සිදුවුණි.

එක්සත් රාජධානියේ ආකෘතිය අනුව සකස්ව ඇති නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන පද්ධති හේතුවෙන් ඉහළ මානව සංවර්ධන දර්ශක අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව මහ කොමසාරිස් සිරිසේන මහත්මිය ශ්‍රීමත් ලින්ඩ්සේ මහතාට පෙන්වා දුණි. සාගර සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානි අතර සමිප සහයෝගිතාව ශ්‍රීමත් ලින්ඩ්සේගේ අවධානයට යොමු විය.

දෙරට අතර සමීප සබඳතා සඳහා ප්‍රධාන හේතුව ප්‍රජාතන්ත්‍රවාදය බව ශ්‍රිමත් ලින්ඩ්සේ අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ගැන සඳහන් කරමින් මහ කොමසාරිස් සිරිසේන මහත්මිය පෙන්වා දුන්නේ 1989 වසරේදී සමානුපාතික නියෝජන ක්‍රමය මගින් ප්‍රතිස්ථාපනය කරන තෙක් එය වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ කේවළ ක්‍රමය මත පදනම්ව තිබූ බවයි. දෙරටේ ව්‍යවස්ථාදායක අතර සංචාර හුවමාරුව සම්බන්ධයෙන් වූ මහ කොමසාරිස්වරියගේ යෝජනාව ශ්‍රිමත් ලින්ඩ්සේ අනුමත කරන ලදී. රටවල් දෙකෙහි පාර්ලිමේන්තු ම්නත්‍රීවරුන් අතර සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්වීම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දෙරටෙහි ඇල්ම බෙදාහදා ගැනීමේ මහඟු අවස්ථාවක් බවට දෙදෙනාම එකඟ වුණි.

මෙම රැස්වීම පැවැත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ජාතික කොඩිය මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපස ඔසවා තැබීමට කථානායකවරයාගේ කාර්යාලය කටයුතු යෙදීම පැසසිය යුත්තකි. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් සමන්ත පතිරණ මහතා ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ලන්ඩන්

2021 මැයි 31 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close