ශ්‍රී ලංකාව සිව්වැනි ආසියාශාන්තිකර ජලසමුළුව සඳහා සහභාගී වෙයි

 ශ්‍රී ලංකාව සිව්වැනි ආසියාශාන්තිකර ජලසමුළුව සඳහා සහභාගී වෙයි

ආසියා ශාන්තිකර රටවල් කිහිපයක ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2022 අප්‍රේල් 23 වැනිදින ජපානයේ කුමමොටෝ නගරයේදී සිව්වැනි ආසියා ශාන්තිකර ජලසමුළුව අරඹන ලදි. මෙවර සමුළුවේ තේමාව වූයේ ‘තිරසාර සංවර්ධනය සඳහා ජලය: හොඳම භාවිතයන් සහ ඉදිරි පරපුර’ යන්නයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවේ රාජ්‍ය ප්‍රධානී අංගය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඉදිරි වසර තුන තුළ සියලුම ජනතාව වෙනුවෙන් පිරිසිදු ජලය සම්පාදනය කිරීම, සනීපාරක්ෂාව ඇතුළු ජලය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකා රජයේ ජාතික ඉලක්කය බවට පත්ව ඇති බව සඳහන් කළේය.“ ශ්‍රී ලංකාව සිය තිරසාර ප්‍රයත්න සඳහා ආයෝජන, තාක්‍ෂණික හුවමාරු සහ මූල්‍යකරණ කටයුතු මෙන්ම මෙම තීරණාත්මක මොහොතේ දී ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්‍ය පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම හා සබැඳි සහයෝගීතාව සාදරයෙන් පිළිගනියි” යනුවෙන්ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජිනිය සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ. දරිද්‍රතාව තුරන්කිරීම සඳහා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම අතිශයින් වැදගත් වන බව සඳහන් කරමින් සමුළුව ඇමතූ ජපාන අග්‍රාමාත්‍ය ෆූමෝ කිෂිඩා මැතිතුමා, ආසියා පැසිෆික් කලාපයේ ජලය ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා මුලපිරීමක් ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා ජපාන රජය යෙන් බිලියන500ක් (ඇමරිකානු ඩොලර් බිලියන4කට ආසන්න මුදලක්) ඉදිරි වසර පහ තුළ කලාපයට ආධාර වශයෙන් ලබා දෙන බව සඳහන් කළේය. ජලාශවල හයිඩ්‍රොලික් පාලන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ ජල විදුලිබලය වැඩි දියුණුකිරීම ආදී වශයෙන් දේශගුණික විපර්යාසවලට එරෙහි පියවර මෙම මුලපිරීමට ඇතුළත් කොට ඇත. ජලසැපයුම සඳහා පහසුකම් පුළුල් කිරීමද එහි තවත් එක්අරමුණක් වේ.

සමාරම්භක උත්සවය අතරතුර දී නියෝජිතයන් සිය කලාපයේ ජලය ආශ්‍රිත අභියෝගවලට මුහුණදීම සඳහාවූ කුමමොටෝ ප්‍රකාශනය සම්මත කරගත් අතර, 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජලසමුළුවේදී එය සාකච්ඡාවට බඳුන් වනු ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කළ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා 2022 අප්‍රේල් 23 වැනි දින මෙම උත්සවයේ සමාරම්භක උත්සවයට සහ රාජ්‍ය ප්‍රධානී අංගයට සහභාගීවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 අප්‍රේල් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close