ශ්‍රී ලංකාව සහ බෙලරුසය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරයි

ශ්‍රී ලංකාව සහ බෙලරුසය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරයි

බෙලරුස් ජනරජයට එකඟව අක්ත ගැන්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය 2022 පෙබරවාරි මස 02-05 අතර දිනයන්හි දී පැවැත්වූ සිය නිල සංචාරයේදී බෙලරුසියානු බලධාරීන් සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වීය.

එතුමිය මින්ස්ක් හි රැඳී සිටි කාල රාමුව තුළ, බෙලරුස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලක්සෙෂන්කෝ මැතිතුමන් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ තානාපතිනිය එරට විදේශ කටයුතු අමාත්‍ය ගරු ව්ලැඩිමීර් මෙයිකි මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර සහයෝගීතාවයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් බෙල්ටා ප්‍රවෘත්ති නියෝජිතායතනය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය.

තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමන් විසින් පිළිගනු ලැබීය. එහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සහ නැවත සක්‍රීය කිරීම පිළිබඳව දෙපාර්ශවයේ සාකච්ඡා පැවති අතර අන්තර් රාජ්‍ය කොමිසම සහ දේශපාලන උපදේශනය පිළිබඳ මීළඟ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ශ්‍රී ලාංකික සිසුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බෙලරුසයේ රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලවලදී තානාපතිවරිය බෙලරුස් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය අතිගරු දිමිත්‍රි පයින්විච් මැතිතුමා සහ වෛද්‍ය අධ්‍යාපනය භාරව සිටින පළමු නියෝජ්‍ය අමාත්‍ය එලේනා ක්‍රොට්කෝවා මහත්මිය හමුවිය.

මෙම හමුව අතරතුරදී, පශ්චාත් උපාධි වැඩසටහන්, ශිෂ්‍ය සහ කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීම, විද්‍යාත්මක සහ පර්යේෂණ සහයෝගීතාව ඇතුළු වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය හා සබැඳි සහයෝගය පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ. ඖෂධ ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයන් දෙක අතර ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය බෙලරුසියානු අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්වීමක් ද පැවැත්වූ අතර ඉංජිනේරු විශේෂඥතාව, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය, පර්යේෂණ යනාදී ක්ෂේත්‍ර සඳහා සහයෝගීතාව පුළුල් කිරීමේ අපේක්ෂාවන් මෙන්ම ඒකාබද්ධ වැඩසටහන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ව්‍යාපෘති හඳුන්වාදීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූවාය.

තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය බෙලරුස් ජනරජයේ ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී දෙරටේ අභ්‍යන්තර/බාහිර සංචාරක ව්‍යාපාරය ඵලදායි ලෙස සංවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව අදහස් දැක්වීය.

මීට අමතරව වත්මන් පරිසරය තුළ සංචාරක ක්‍රියාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගැඹුරින් දැන ගැනීම සඳහා තානාපතිවරිය බෙලරුස් ජනරජයේ සංචාරක සංවිධාන එකමුතුවේ ප්‍රධානියා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

කෘෂිකර්ම හා ආහාර පිළිබඳ පළමු නියෝජ්‍ය අමාත්‍ය බ්‍රයිලෝ මැතිතුමන් විසින් තානාපතිවරිය එම අමාත්‍යාංශයේ දී පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාව සහ බෙලරුසය අතර වත්මන් වෙළෙඳ පිරිවැටුම වැඩිකරමින් නිෂ්පාදනවල ආනයන/අපනයන ලැයිස්තුව පුළුල් කිරීමේ විශාල හැකියාවක් පවතින බවට දෙපාර්ශ්වය ම පිළිගත්හ.

බෙලරුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේදී, දෙරටේ ව්‍යාපාරික කවයන් අතර අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන දිශානති, බෙලරුස් ජනරජයේ ව්‍යාපාරික නියෝජිතයින් සඳහා වෙළඳ සහ ආර්ථික විභවයන් පිළිබඳ ඉදිරිපත් කිරීම් සංවිධානය කිරීම පිළිබඳව මෙහිදී සලකා බලන ලදී.

කෘෂිකර්ම හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත සහයෝගීතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා තානාපතිනි ලියනගේ මැතිනිය මින්ස්ක් ට්‍රැක්ටර් වර්ක්ස් ආයතනයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2022 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close