ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා පැවැත්වෙයි

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා පැවැත්වෙයි

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පැවැත්විණ. මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව (STC) සහ පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව (PTIC) නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ.

දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව වෙළඳ අංශයේ වටිනා පියවරයන් අනුගමනය කරන ලෙස තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය සිය පිළිගැනීමේ කතාවේදී සංවිධාන දෙකෙන්ම ඉල්ලා සිටියාය. දෙරටේ ශක්තීන් හා විශේෂඥතාවයන්, විශේෂයෙන් අනෙකුත් අංශ අතර, කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්‍ෂණය, සැකසූ ආහාර නිෂ්පාදනය යනාදිය සඳහා අනුපූරක විය හැකි වෙළඳ ක්ෂේත්‍රවල නියැලීම සඳහා සුදුසු ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව තානාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ අලෙවිකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් මෙන්ඩිස් මහතා ඔවුන්ගේ ආයතනය වෙත පැවරී ඇති බලතල සහ කාර්යයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය. පිලිපීන වෙළඳපොළ තුළ අලෙවි කිරීම සඳහා ඉහළ ඉඩ ප්‍රස්තාවක් පවතින ශ්‍රී ලාංකික වෙළඳ භාණ්ඩ සහ නිෂ්පාදන මෙන්ම, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ සඳහා පිලිපීන නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව ද ඔහු විස්තර කළේය.

එමෙන්ම, පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව නියෝජනය කරමින්, එහි ජාත්‍යන්තර වෙළඳ සේවා උප සභාපති නීතීඥ මාර්ක් බ්‍රයන් ඩෙලා කෲස් මහතා, අපනයන පිළිබඳ කාර්යය භාර නිලධාරි සහ උප සභාපති ජොයෙල් රොඩ්‍රිගස් මහතා සහ භාණ්ඩ හුවමාරු දෙපාර්තමේන්තුවේ කළමනාකරු ඩේවිඩ් ඉනොසෙන්සියෝ මහතා යන නිලධාරීහු ශ්‍රී ලාංකික අපනයන සඳහා පිලිපීනයේ පවතින අවස්ථාවන් හඳුනාගැනීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සමඟ කටයුතු කිරීම සඳහා පවතින උනන්දුව පිළිබඳව සඳහන් කළහ. ආනයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිතායතනවලට සහාය වීමට ද ඔවුහු කැපවී සිටිති.

ආයතන දෙක අතර සහයෝගීතාවය හා ගනුදෙනු විධිමත් කිරීමේ අරමුණින් යුතුව රාමුගත ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳ කරුණු ද මෙහි දී පැන නැඟිණ. මෙම කටයුත්ත සිදුකිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වූහ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යනු ශ්‍රී ලංකා වෙළඳ අමාත්‍යාංශයේ විෂයය පථය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ වශයෙන් රජය සතු ආයතනයකි. විවිධ ආකාරයේ කර්මාන්ත හා ඛණ්ඩ සපුරාලීම සඳහා පවතින හැකියාව හේතුවෙන් මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රය තුළ හොඳින් මුල් බැස ගෙන ඇති ගෞරවනීය ආයතනයකි. මේ අතර, පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව යනු පිලිපීනයේ වෙළඳ හා කර්මාන්ත දෙපාර්තමේන්තුව (DTI) යටතේ SIO සහතික ලත් රාජ්‍ය වාණිජ ව්‍යවසායයක් වන අතර, වෙළඳපොළ ව්‍යාප්තිය සහ ගෝලීය තරඟකාරිත්වයේ ආර්ථික දිශානතිය සාක්ෂාත් කර ගැනීම පිණිස පිලිපීන රජයට උපකාර කිරීමේ මෙහෙවර විසින් එය මෙහෙයවනු ලැබේ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මැනිලා

2021 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close