ශ්‍රී ලංකාව සහ නේපාලය දෙරටෙ හි ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සබැඳි සහයෝගිතාව අඛණ්ඩව පවත්වයි

ශ්‍රී ලංකාව සහ නේපාලය දෙරටෙ හි ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සබැඳි සහයෝගිතාව අඛණ්ඩව පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම්වලට නේපාලයේ භෞතික යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යංශය (MPIT) සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීමට සහ හවුල් ව්‍යාපාර ඇතුළුව විදෙස් ආයෝජකයන්ට අදාළ ක්‍රියා පටිපාටි සහ රෙගුලාසි පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව අතථ්‍ය හමුවක් සංවිධානය කළේය.

මේ වන විට ක්‍රියාත්මක කෙරෙන ක්‍රියා පටිපාටි මෙන්ම, මාර්ගවල ඉදිකිරීම් කටයුතු සහ ප්‍රවාහන කටයුතු හා සබැඳි ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් MPIT හි සංවර්ධන සහය සම්බන්ධීකරණ සහ තත්ත්ව අංශයේ සමලේකම් කෙෂාබ් කුමාර් ෂර්මා මහතා සපයන ලදී. ජල විදුලිය සංවර්ධනය, වාස්තු විද්‍යාත්මක කටයුතු සහ ඉංජිනේරු සැලසුම්, උපදේශන කටයුතු සහ ගොඩනැගිලි ඉදිකිරීම් වැනි අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා අපේක්ෂාවන් පිළිබඳ සාමාන්‍ය දළ සටහනක් සපයන අතරතුර, මේ සඳහා අවශ්‍ය වන නිර්ණායක සහ අත්දැකීම් පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය. නේපාලයේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රවාහන කටයුතු  සඳහා මධ්‍ය කාලීනව පවත්නා නිර්ණායක සහ අවස්ථා පිළිබඳව වැඩිදුරටත් විස්තර කළ ෂර්මා මහතා, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කළ නියෝජිතයින් විමසූ ගැටළුවලට ද ප්‍රතිචාර දැක්වී ය. ඉදිරි දිනක සුදුසු අවස්ථාවක දී පුද්ගලික වශයෙන් එකිනෙකා හමුවීම සඳහා ඔවුහු සිය කැමැත්ත පළ කළහ.

මෙම අතථ්‍ය හමුව පෙබරවාරි 7 වැනි දින පැවැත්විණි. 2021 දෙසැම්බර් 21 වැනි දින පැවති ව්‍යාපාරාන්තර සැසිය අතරතුර දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින් විසින් නේපාල රජයේ බලධාරීන් සමඟ හමුවක් පැවැත්වීම සඳහා යොමු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම හමුව සංවිධානය කරන ලදී. මෙම ක්ෂේත්‍රය තුළ පවත්නා විවිධත්වය සැලකිල්ලට ගනිමින්, ජල විදුලිය, ගොඩනැගිලි ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අංශයේ ශ්‍රී ලාංකික සමාගම්වල විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා, නේපාල රජයේ අදාළ හවුල්කරුවන් සමඟ අනාගතයේදී ද ඒ හා සමාන අවධානයක් ලබා දෙන ආකාරයේ ගැඹුරු නිරතවීම් ක්‍රියාත්මක කිරීම දිරිමත් කෙරිණි.

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් ශිල්පීන් ඇතුළු ශ්‍රී ලාංකික සමාගම් දහයකට අධික සංඛ්‍යාවක් මෙම අතථ්‍ය හමුවට සහභාගී විය. තානාපති හිමාලී අරුණතිලක මැතිනිය සහ අපනයන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා ඉඳුමිණි කොඩිකාර මහත්මිය ද මෙම හමුව අතරතුර දී දේශන පැවැත්වූ හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close