ශ්‍රී  ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වූ වෙබිනාර් හමුව

ශ්‍රී  ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වූ වෙබිනාර් හමුව

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කුවේට් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය (KCCI), ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සමඟ එක් ව දෙරට අතර වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීමේ අරමුණින් 2021 දෙසැම්බර් මස 06 වන දින වෙබිනාර් හමුවක් සංවිධානය කරන ලදි.

මෙම හමුවේ සමාරම්භක අවස්ථාව මෙහෙයවූ කුවේට් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ  මුසාබ් අල්-නිස්ෆ් මහතා විසින් කුවේට්හි සාමාන්‍ය ව්‍යාපාරික පරිසරය පිළිබඳව සහභාගීවූවන් හට විස්තර කරනු ලැබූ අතර කුවේට් වෙළඳපළ වෙත ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කරන ලදි.

‍සහභාගී වූවන් අමතමින් ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහාර් මැතිතුමා දෙරට අතර වෙළඳ සබඳතාවල වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිවීමට පෙර එම සබඳතා ඇති වූ බව සඳහන් කළේය. නුපුහුණු සහ අර්ධ වශයෙන් පුහුණුව ලැබූ කාණ්ඩ යටතේ සිටින ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා පුහුණු කිරීමට සහාය වන ලෙස එතුමා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අතර කුවේට් හි  ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය කාර්යක්ෂම හා විශ්වසනීය සේවකයින් වීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළේය. ලොව පුරා ඉහළ ම සංචාරක ගමනාන්ත අතර ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳව පැහැදිලි කිරීමට තානාපතිවරයා මෙම හමුව අවස්ථාවක් කර ගත් අතර සහභාගිවූවන් හට සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති බුද්ධික නන්දිපාල මහතා විසින් 2020 වසරේ ජනවාරි මස මෙම වාණිජ මණ්ඩල දෙක අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව පැවැත්වුණු මෙම වෙබිනාර් හමුව දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර අන්තර් සබඳතා තවදුරටත් වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදි.

අපනයනය සඳහා පවතින නිෂ්පාදන සහ සේවා පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල් මහතා විසින් රැස්ව සිටි පිරිස දැනුවත් කරනු ලැබුවේය. කුවේට් රාජ්‍යය තුළ ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම වෙබිනාර් හමුව සඳහා සත්කාරකත්වය දැරුවේය.

මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජකයින් වෙත පිරිනමන දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරිපත් කළේය.

ආහාර හා පෝෂණ අංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇති අවස්ථා පිළිබඳව කුවේට් හි ආහාර හා පෝෂණය පිළිබඳ පොදු අධිකාරිය නියෝජනය කරමින් ෆිදා හෝමුද් අල්රෂිඩි මහත්මිය සහභාගී වූවන් දැනුවත් කළාය.

දෙරටේ ම පුද්ගලික අංශවලින් 60 කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, මීට සමගාමීව අන්තර් ව්‍යාපාරික (B2B) රැස්වීම් අඛණ්ඩ ව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා කෙත්මා රාජපක්ෂ යාපා  මහත්මිය විසින් මෙම වෙබිනාර් හමුව සම්බන්ධීකරණය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේට්

2021 දෙසැම්බර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close