ශ්‍රී ලංකාව බැංකොක් හි පැවති  67 වන YWCA රාජ්‍යතාන්ත්‍රික පුණ්‍ය සල්පිල 2022 වැඩසටහනට සාර්ථක ලෙස සහභාගී වේ

ශ්‍රී ලංකාව බැංකොක් හි පැවති  67 වන YWCA රාජ්‍යතාන්ත්‍රික පුණ්‍ය සල්පිල 2022 වැඩසටහනට සාර්ථක ලෙස සහභාගී වේ

බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය, තායිලන්තය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, හස්ත කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 සිට ඔක්තෝම්බර් 02 වැනි දින දක්වා බැංකොක් හි සෙන්ට්‍රල් වර්ල්ඩ් හි පැවති 67 වන YWCA රාජ්‍යතාන්ත්‍රික පුණ්‍ය සල්පිල නමැති වැඩසටහනට  සාර්ථකව සහභාගී විය.

බැංකොක්හි තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය, බැංකොක් හි ශ්‍රී ලංකා තානාපතිනියගේ ස්වාමි පුරුෂයා වන ස්ටීවන් සේනානායක මහතා ඇතුළුව, බැංකොක් හි දූත මණ්ඩල ප්‍රධානීන්ගේ භාර්යාවන් හා ස්වාමි පුරුෂයන් සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සල්පිල සඳහා තානාපති කාර්යාල 37 ක් සහභාගී විය. තවද, සොම්සාවලි කුමරියගේ නියෝජිතවරිය වන ටිකොම්පෝර්න් යුගාලා උත්තමාවිය විසින් මෙම සල්පිල විවෘත කරන ලදී.

මෙම සල්පිල වෙළඳ කුටි 177 කින් සමන්විත වූ අතර, සල්පිල පැවති දින හතර තුළ අමුත්තන් 14,000 දෙනෙකුට අධික පිරිසක් ඊට ආකර්ෂණය විය. මෙම අවස්ථාවට සහභාගී වූ තානාපති කාර්යාල හරහා ලැබෙන පරිත්‍යාග අධ්‍යාපනය, වෘත්තීය, යටිතල පහසුකම් සහ පරිසරය මෙන්ම තායිලන්තයේ ආපදාවලින් පීඩාවට පත් වූවන් වැනි බොහෝ අංශවලට අදාළ ළමුන්, කාන්තාවන් සහ වරප්‍රසාද අහිමි පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීමට උපකාරී විය.

මෙම වැඩසටහනට පෙර, Channel 3HD, Channel 7HD, Channel 5HD, Thai PBS, යන නාලිකා සහ You tube මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තයේ රූපවාහිනී නාලිකා හරහා ප්‍රවර්ධනය කරන ලදී. ශ්‍රී ලංකාවේ අළෙවි කුටිය කුළුබඩු, හස්ත කර්මාන්ත, ලංකා තේ, ආහාර ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළුව තායිලන්ත සහ ජාත්‍යන්තර අමුත්තන්ගේ ආකර්ෂණය දිනාගත් තවත් බොහෝ නිෂ්පාදනවලින් සමන්විත විය.

කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත මණ්ඩලය, ඇරෝමැටික් ග්ලෝබල් (පුද්) සමාගම, අමිල ෆුඩ්ස්, සිලෝන් ස්පයිස් කෙයාර් (පුද්) සමාගම, කැන්ඩ්ල් හවුස් සිලෝන්, CN සෙරමික්, DN ඉන්ටීරියර් ඩිසයින්ස් (පුද්) සමාගම, දීබම්, අර්ත් නැචුරල් (පුද්) සමාගම, ග්‍රීන්ස් ෆ්ලවර් ඩිසයින් (පුද්) සමාගම, හිල්මා ලංකා (පුද්) සමාගම, හෙරිටන්සි නිෂ්පාදකයෝ, හෙමිරා සෙරමික්ස්, ඉරේෂා ස්පයිස් ලංකා (පුද්) සමාගම, ජැෆර්ජි සහෝදරයෝ, JFS හෝල්ඩින්ග්ස්, කම්රූ ඇපරල්ස්, කියෝතෝ කෝපි සමාගම, ලක්ලෝ ලංකා (පුද්) සමාගම, ලෝරා, මායා අත්කම්, ඕර්බිට් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල්, RHS බී හනී, රැන්ෆර් සමූහය, රොචන්ඩ් ඇග්‍රො ෆාර්මා (පුද්) සමාගම, රන්ක්‍රිස්ප් මාර්කටින් (පුද්) සමාගම, සුරවි හෙල්ත් ටු වෙල්ත්, සිංහරාජ හර්බ්ස් (පුද්) සමාගම, සුරවි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, ටීමා බිස්කට් නිෂ්පාදකයෝ, ඌව බී හනී කර්මාන්ත (පුද්) සමාගම, වයිල්ඩ් රැබිට්ස් නිෂ්පාදන සහ YMJ නිෂ්පාදන යන සමාගම්වල නිෂ්පාදන මෙම සල්පිල හරහා විදහා දැක්විණි. තවද, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කොට අළෙවි කරන ලදී.

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් එරහපොළ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. තානාපති සහ නිත්‍ය නියෝජිත චාමින්දා කොලොන්නේ මැතිනිය, සභාපති එරහපොළ මහතා සහ පළමු ලේකම් (වාණිජ්‍ය) විරේෂිකා බණ්ඩාර මහත්මිය සමඟ එක්ව තායිලන්තයේ ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය, බැංකොක් හි පිහිටි තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (TICA) සහ තායිලන්තයේ අයුත්තායා හි පිහිටි සහය කලා හා අත්කම් ප්‍රවර්ධන ආයතනය (SACIT)  සමඟ අනාගතයේ දී එක්ව සිදු කළ හැකි කටයුතු පිළිබඳව සාකච්ඡා පැවැත්වූ හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 ඔක්තෝබර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close