ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කෘෂිකාර්මික සබඳතා ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කෘෂිකාර්මික සබඳතා ශක්තිමත් කරයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 36 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) අමාත්‍ය සැසිය අතරතුර දී, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව, ඊට සහභාගී වූ නියෝජිත පිරිස දැනුම්වත් කළේය.2022 මාර්තු 8 සිට 11 යන දිනවල පැවති අන්තර් ක්‍රියාකාරී සැසියේදී, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගනු ලැබූ  නව්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම සමුළුවට සමගාමීව අමාත්‍යවරයා මාර්තු 10 වැනි දින, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් චූ ඩොන්ග්යු මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡා අතරතුර, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන කෘෂිකාර්මික රටක් බව සඳහන් කළ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කෘෂිකාර්මික අංශය සම්බන්ධයෙන් අතීතයේ පටන් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ලැබී ඇති හෙයින්, දිළිඳුකම පිටුදැකීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම මෙම කුඩා දිවයිනට අභියෝගයක් නොවන බව ප්‍රකාශ කළේ ය.

රට තුළ කෘෂිකාර්මික අංශය සම්බන්ධයෙන් පවතින ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස ආහාර හා කෘෂිකර්ම සංවිධානය භාවිතා කරන ලෙසද, එතුමා ශ්‍රී ලංකාවට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය තුළ ඇති සූදානම පිළිබඳව ද එතුමා යළි තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය දියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්වත් කළේය.

බංග්ලාදේශය සමඟ පවත්නා කෘෂිකාර්මික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අමාත්‍ය අලුත්ගමගේ මැතිතුමා මාර්තු 11 වැනි දින බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුර් රසාක් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය. දෙපාර්ශ්වය අවතීර්ණ වූ ද්විපාර්ශ්වික ගිවිසුම් මත පදනම්ව, සහයෝගීතාව පැවැත්විය හැකි ශක්‍යතා සහිත ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම,එකිනෙකාගේ අපනයන භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම  පිළිබඳව ද, අමාත්‍යවරුන් දෙදෙනා මෙම හමුව අතරතුර දී සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා, කෘෂිකර්ම තාක්ෂණය පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය ගාමිණී සමරසිංහ මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් රුවන්ති දෙල්පිටිය මහත්මිය සහ ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශ්‍රීමාලි ජයරත්න මහත්මිය යනාදීහු මෙම හමුවට සහභාගී වූහ.

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුව 2024 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 මාර්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close