ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මෙන්ම රුසියාවේ දීර්ඝකාලීන සහ විශ්වාසනීය හවුල්කරුවෙකු බව රුසියාව අවධාරණය කරයි

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මෙන්ම රුසියාවේ දීර්ඝකාලීන සහ විශ්වාසනීය හවුල්කරුවෙකු බව රුසියාව අවධාරණය කරයි

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මෙන්ම රුසියාවේ දීර්ඝකාලීන සහ විශ්වාසනීය හවුල්කරුවෙකු බව රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ සම සභාපති අවධාරණය කළේය. වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ සම සභාපතිවරුන්ගේ රැස්වීමක් 2021 ජුනි 15 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණ ආකෘතියෙන් යුතුව පැවැත්විණි.එම රැස්වීමේදි මේ බව අනාවර්ණය කෙරිණ. දෙරටේ සහයෝගීතාවය සංවර්ධනය පිළිබඳව මෙම රැස්වීමේ දී සම සභාපතිවරු සවිස්තර ලෙස සාකච්ඡා කළහ. රුසියානු පාර්ශ්වය ධීවර කටයුතු සඳහා වූ ෆෙඩරල් නියෝජිතායතනයේ ප්‍රධානී ඉල්යා ෂෙස්ටකොව් මහතා විසින් මෙහෙයවන ලද අතර,ධීවර කටයුතු පිළිබඳ ෆෙඩරල් නියෝජිතායතනය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ෆෙඩරල් රේගු සේවය, බලශක්ති අමාත්‍යාංශය, කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය හා රොසින්ෆොකොමින්වෙස්ට් ජේඑස්සී ආයතනයෙහි නිලධාරීන් නියෝජනය කළහ. වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් බද්‍රානි ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකා පාර්ශ්වයේ ප්‍රධානත්වය දැරූ අතර, වෙළඳ අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් නියෝජනය කළහ.

දෙරට අතර සහයෝගිතාවය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ඉඩකඩක් පවතින බවට රුසියාව විශ්වාස කරන බවත්, දෙපාර්ශ්වයම එකඟ වූ ක්ෂේත්‍ර සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ඉල්යා ෂෙස්ටකොව් මහතා    පිළිගැනීමේ කතාවේදී  වැඩිදුරටත් පැවසීය. රුසියාව ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීන වෙළඳ හවුල්කරුවෙකු වන බැවින්, ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සඳහා භාවිතයට නොගත් අවස්ථා ගණනාවක් ඇති බව පැහැදිලි බව සිය ආරම්භක දේශනයේ දී ශ්‍රී ලංකා පාර්ශවයේ  සම සභාපති බද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය. තවද, අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ කටයුතු තුළින් දෙපාර්ශ්වයටම ආයෝජන, සංචාරක හා විද්‍යා හා තාක්‍ෂණය වැනි වෙනත් අංශවල සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇත.

රේගු කටයුතු පිළිබඳ වැඩිදුර සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වෙළඳාම සඳහා සහාය ලබා දීමට රුසියානු පාර්ශ්වය එකඟ විය. බලශක්ති, රසායනික, ඖෂධ සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යෝජිත දෙරට අතර කෘෂිකර්මාන්තය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සහ රුසියානු-ශ්‍රී ලාංකික ධීවර කොමිෂන් සභාව හැකි ඉක්මනින් සංවිධානය කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කෙරිණි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ද රැස්වීමේ න්‍යාය පත්‍රයෙහි සඳහන් විය. ශ්‍රී ලංකා පාර්ශ්වය, රුසියානු වෙළෙඳපොළ තුළ මැණික් හා ස්වර්ණාභරණ අංශය, ලංකා තේ සහ ධීවර අංශය සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සවිස්තරාත්මකව දක්වන ලද අතර, ශ්‍රී ලාංකික හවුල්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විස්තර කළේය. තාක්ෂණික සහාය ක්ෂේත්‍රයේ දී, ශ්‍රී ලංකා පාර්ශවය  ඖෂධ අංශය වැඩිදියුණු කිරීම, කෘෂි පාදක නිෂ්පාදන, ආහාර සුරක්‍ෂිතතා කළමනාකරණ පහසුකම ස්ථාපිත කිරීම සඳහා සහයෝගය සහ එහි ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉල්ලා සිටියේය.

සනීපාරක්ෂක හා වසංගත රෝග තත්ත්වයන් ඉඩකඩක් ලැබෙන්නේ නම්, වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ 3 වැනි සැසිවාරය 2021 සරත් ඍතුවේ දී මොස්කව්හි දී මාර්ගගත නොවන ආකෘතියෙන් පැවැත්වීමට රුසියානු පාර්ශ්වය යෝජනා කළේය. එළඹෙන ශ්‍රී ලංකා-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ 3 වැනි සැසිවාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමේ මාර්ග සහ විධි පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා  නිවැරදි වේදිකාව වනු ඇති බවට කරන ලද ප්‍රකාශය සමගින්, මෙම සම සභාපතිවරුන්ගේ රැස්වීම අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

 2021 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close