ශ්‍රී ලංකාව ආසියානු ආපදා පෙර සූදානම් වීමේ මධ්‍යස්ථානයේ (ADPC) භාරකාර මණ්ඩලයේ (BOT) උප සභාපති වශයෙන් තවදුරටත් කටයුතු කරයි

 ශ්‍රී ලංකාව ආසියානු ආපදා පෙර සූදානම් වීමේ මධ්‍යස්ථානයේ (ADPC) භාරකාර මණ්ඩලයේ (BOT) උප සභාපති වශයෙන් තවදුරටත් කටයුතු කරයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිනිය 2022 ජනවාරි මස 25 වන දින බැංකොක් හිදී දෙමුහුන් ආකාරයෙන් පැවති 3 වන භාරකාර මණ්ඩල (BOT) රැස්වීමේදී ආසියානු ආපදා පෙර සුදානම් වීමේ මධ්‍යස්ථානයේ (ADPC) උප සභාපතිවරිය වශයෙන් නැවත තේරී පත් විය. භාරකාර මණ්ඩලයේ උපසභාපතිවරිය වශයෙන් මාර්ගගතව රැස්වීමට සම්බන්ධ වෙමින් තානාපතිනී කොලොන්නේ මැතිනිය, පසුගිය වසර මුළුල්ලේ කොවිඩ්-19 වසංගතයෙන් එල්ල වූ අභියෝගයන් මධ්‍යයේ සිදු කරන ලද කාර්යභාරය වෙනුවෙන් ඒඩීපීසී හි විධායක අධ්‍යක්ෂ හාන්ස් ගට්මන් මහතා සහ එම ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සිය කෘතඥතාව පළ කළාය.

මෙම රැස්වීමේ දී එවක බංගලාදේශය විසින් දරනු ලැබූ ඒඩීපීසී හි සභාපතිත්වය කාම්බෝජය වෙත පිරිනැමුණු අතර භාරකාර මණ්ඩලයේ කාම්බෝජය නියෝජනය කළ සාමාජික සහ කාම්බෝජයේ ආපදා කළමනාකරණය සඳහා වන ජාතික කමිටුවේ උපදේශක කිම් විරක් මහතා 2022 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස තේරී පත් විය.

ආසියානු ආපදා පෙර සූදානම් වීමේ මධ්‍යස්ථානය 1986 වර්ෂයේ දී පිහිටුවනු ලැබූ අතර බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ තායිලන්තය මෙන්ම ශ්‍රී ලංකාව ද එහි ආරම්භක සාමාජිකයෙකි.

2021 වර්ෂයේදී ඒඩීපීසී ආයතනය නේපාලය, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල ලෝක බැංකු මධ්‍යස්ථානවල ආධාරයෙන් දේශගුණයට අනුවර්තනය වීමේ සහ ඔරොත්තු දීමේ මුලපිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජලය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි සහයෝගීතාවය ඇති කර ගැනීමේ අරමුණ පෙරදැරිව  2021-2025 සඳහා දියත් කෙරුණු "දකුණු ආසියාව සඳහා රැකවරණය" (CARE for South Asia) නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ එක් අංගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය සමඟ අවබෝධතා ගිවසුමකට අත්සන් තබා ඇත. තවද, ආසියානු පෙර සූදානම් වීමේ හවුල්කාරිත්වය (APP) සඳහා ශ්‍රී ලංකාවේ වැදගත් පෞද්ගලික අංශ ජාලයක් ලෙස අඛණ්ඩව සහයෝගීතාවය පවත්වා ගැනීමේ සහ ආපදාවට පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශීයව මෙහෙයවන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC)  සමඟ ද අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.

ඒඩීපීසී ආයතනය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය, ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අමාත්‍යාංශ සහ නියෝජිතායතන වෙත ආපදා අවදානම් කළමනාකරණය සඳහා සිය සහයෝගය ලබාදී ඇත.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 පෙබරවාරි 07 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close