ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන්වරු අන්කාරා නුවර දී ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබති

ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන්වරු අන්කාරා නුවර දී ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබති

ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය (ඔම්බුඩ්ස්මන් කාර්යාලය) සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් ආයතනය 2023 ජාත්‍යන්තර ඔම්බුඩ්ස්මන් සමුළුවට සමගාමීව, එනම් 2023 ජනවාරි 11 දින අන්කාරා නුවර දී අවබෝධතා ගිවිසුමකට එළඹිණි.

තුර්කි පාර්ලිමේන්තුවේ කථානායක මුස්තාෆා සෙන්ටොප් මැතිතුමා, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, ශ්‍රී ලංකාවේ ඔම්බුඩ්ස්මන්වරයා වන විනිසුරු (විශ්‍රාමික) කේ. ටී. චිත්‍රසිරි මහතා සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් ප්‍රධානී සෙරෙෆ් මැල්කොක් මහතා යනාදීහු ශ්‍රී ලංකාවේ ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් ආයතනය අතර පවත්නා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ හ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් කාර්යාල දෙකෙහි කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කිරීම, අයුක්තිය හා වෙනස් කොට සැලකීම යනාදියෙන් පුරවැසියන් ආරක්ෂා කරන අතරතුර අයුක්තිය වැළැක්වීම සඳහා පිළියම් ගැනීම  යනාදිය මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථය විය. පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම, එක් එක් පාර්ශ්වයේ කාර්යයන්වලට අදාළ අරමුණු සහ වැඩ කටයුතු ආශ්‍රිත පැමිණිලි සහ අනෙකුත් ක්‍රියාකාරකම් හා සබැඳි සහයෝගීතාව සඳහා අවශ්‍ය සංවිධානාත්මක කොන්දේසි ආදිය මෙම සමුළුව මඟින් නිර්මාණය කෙරෙන අතර, ව්‍යවස්ථා මගින් පවරා ඇති බලතලවලට අදාළව පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සඳහා එය දායක වේ.

“The future of Human Rights in the 21st Century” යන තේමාව යටතේ පැවති 2023 ජාත්‍යන්තර ඔම්බුඩ්ස්මන් සමුළුව සඳහා යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන ලදී. ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ මැදපෙරදිග යනාදී විවිධ කලාප නියෝජනය කළ  ඔම්බුඩ්ස්මන්වරු 70 දෙනෙකුට අධික පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගී වූ අතර, එහිදී ඔවුහු  සිය රටවල ඔම්බුඩ්ස්මන්වරුන්ට අදාළ නීතිමය රාමුව මෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව සිය අදහස් බෙදාගත් හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 ජනවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close