ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යවරයා ඕමානය තුළ සිදු කළ ඵලදායී ද්විපාර්ශ්වික සංචාරය අවසන් කරයි

ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යවරයා ඕමානය තුළ සිදු කළ ඵලදායී ද්විපාර්ශ්වික සංචාරය අවසන් කරයි

ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ නියෝජිතයන් පස් දෙනෙකුගෙන් සුසැදි දූත පිරිසක්, 2022 මාර්තු 27 සිට 28 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යය තුළ සිදු කළ ද්විපාර්ශ්වික වෙළඳ සංචාරයක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලදි.

ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ඕමාන ව්‍යාපාරික නියෝජිත පිරිසක්, 2022 මාර්තු 05 සිට 09 යන දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාරය, ශ්‍රී ලංකාවේ දූත පිරිස නිරත වූ මෙම අමාත්‍ය මට්ටමේ වෙළඳ සංචාරය සඳහා ඉවහල් විය.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ශ්‍රී ලංකා වෙළෙඳ සංස්ථාවේ (STC) සභාපති යෝගේන්ද්‍ර පෙරේරා මහතා, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. සෝමසේන මහදුල්වැව මහතා, සිනෙක් කැම්පස් (CINEC) හි ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ සමතා සහ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (SLTC) සභාපති රංජිත් රූබසිංහ මහතා යනාදීහු ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කළහ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සිය දූත පිරිස සමඟ, ඕමානයේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අල් රුම්හි මැතිතුමා හමුවූ අතර, එහිදී තෙල් හා ගෑස් යන අංශවලට අදාළ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුල්තාන් හයිතම් බින් තාරික් මැතිතුමා වෙත යොමු කළ ලිපියක් භාර දුන්නේ ය. තෙල් පිරිපහදුව සහ ගෑස් ගබඩා පහසුකම් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍යාන්තර මට්ටමෙන් පැවැත්විය හැකි සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම අමාත්‍ය මට්ටමේ වෙළඳ නියෝජිත පිරිස, ඕමානයේ උරුම සහ සංචාරක අමාත්‍ය සලේම් බින් මොහමඩ් අල් මරූකි මැතිතුමා  හමුවී දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම හා සබැඳි ක්‍රම සහ විධි ගවේෂණය කළහ. දෙරටේ සංචාරක ක්‍රියාකරුවන් අතර සබඳතා පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමට ද දෙපාර්ශ්වයම සිය එකඟත්වය පළ කළහ. මෙම හමුවේ දී අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, දෙරටේ සංචාරක අමාත්‍යාංශ අතර අත්සන් තැබීම සඳහා මේ වන විට අවසන් කොට ඇති අවබෝධතා ගිවිසුම, දෙරට අතර සංචාරක  සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් වනු ඇතැයි අවධාරණය කළේ ය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ අමාත්‍ය මට්ටමේ වෙළඳ නියෝජිත පිරිස,  වාණිජ හා කර්මාන්ත පිළිබඳ උප ලේකම් ආචාර්ය සාලේ ම්සාන් මහතා ප්‍රමුඛ ඕමානයේ වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නියෝජිත පිරිස සමඟ ද සවිස්තරාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වී ය. දෙපාර්ශ්වයම මෙහිදී වෙළෙඳාම සහ ආයෝජනය සඳහා දෙරටේ පවතින අවස්ථා පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත්හ. තවද, දෙරට අතර සහයෝගීතාව පැවැත්වීම සඳහා පවතින ශක්‍යතා ක්ෂේත්‍ර ද ඔවුන් විසින් හඳුනා ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ බහු ආංශික ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 සැප්තැම්බර් මස ඕමානය තුළ ව්‍යාපාරික සංසද සහ ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කිරීමට ද එකඟත්වය පළ කෙරිණි. දෙරට අතර සීමිත නිෂ්පාදන ආවරණයක් සහිත වරණීය වෙළඳ ගිවිසුමක් (PTA) අවසන් කිරීමට ද මෙම හමුව අතරතුර ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් යෝජනා කරන ලදි. මෙම සංචාරයේ දී හඳුනාගත් ක්ෂේත්‍ර පිළිබඳව පසු විපරම් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරන කමිටුවක් පිහිටුවීමට ද දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ අමාත්‍ය මට්ටමේ වෙළඳ නියෝජිත පිරිස, ඕමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බකිත් අහමඩ් අල්-මහ්රි මහතා ප්‍රමුඛ දූත පිරිස සමඟ ද ඵලදායී හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස මෙහිදී ඕමානයේ සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවත්නා අවස්ථා පිළිබඳ තොරතුරු බෙදාහදා ගත්හ. හවුල්  පදනමක් මත ඕමානය තුළ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පහසුකම් පිහිටුවීමේ අවස්ථා ද ඔවුන් විසින් ගවේෂණය කරන ලදී.

ශ්‍රී ලංකාව නියෝජනය කළ අමාත්‍ය මට්ටමේ වෙළඳ නියෝජිත පිරිස, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ පසු විපරම් රැස්වීමක් පැවැත්වූ අතර, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෑතක දී එනම්, 2022 මාර්තු 05-09 යන දිනවල ශ්‍රී ලංකාව තුළ නිරත වූ සංචාරයේ ප්‍රතිඵල පිළිබඳව ද විමසූහ. තවද, ශ්‍රී ලංකාවේ සිට ඕමානයට පැමිණීමට නියමිත ව්‍යාපාරික දූත පිරිසගේ සංචාරය හා සබැඳි වැඩසටහන පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. දෙරටේ පෞද්ගලික ආයතන අතර සහයෝගීතාව ගොඩනැංවීමේ අරමුණින්, OCCI ආයතනය ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත පිරිස සඳහා ඕමානයේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සමඟ රැස්වීම් සංවිධානය කළේ ය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අලෙවි කෙරෙන ඕමානයේ පිහිටි ලුලූ (Lulu) සුපිරි වෙළඳසැල සහ ස්පාර් (SPAR) සුපිරි වෙළඳසැල තුළ සංචාරයක නිරත වූ අතර, එහි කළමනාකාරීත්වය සමඟ රැස්වීම් පවත්වා ඕමානයේ සිල්ලර වෙළඳපොළට හඳුන්වා දීම සඳහා තවත් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ගවේෂණය කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 අප්‍රේල් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close