ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා එහි පවතින අවස්ථා පිළිබඳ තොරතුරු වියට්නාමයේ අපේක්‍ෂිත ආයතන සමඟ හුවමාරු කර ගැනීමේ සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා එහි පවතින අවස්ථා පිළිබඳ තොරතුරු වියට්නාමයේ අපේක්‍ෂිත ආයතන සමඟ හුවමාරු කර ගැනීමේ සම්මන්ත්‍රණය

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තොරතුරු හා එහි පවතින අවස්ථා වියට්නාමයේ අපේක්ෂිත ආයතන සමඟ හුවමාරු කර ගැනීම සඳහා 2021 අගෝස්තු 25 වැනි දින අතථ්‍ය සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. මෙම අතථ්‍ය සම්මන්ත්‍රණය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ, වියට්නාමයේ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා හා ගිහියන් හට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඉගෙනීමට, පිළිපැදීමට හා අනුගමනය කිරීම සඳහා වූ ප්‍රධාන ගමනාන්තය ලෙස ලංකාව ප්‍රවර්‍ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ දී සිය වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට කැමැත්තෙන් සිටින වියට්නාම භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ ගිහියන් 100 කට වැඩි පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටියහ.

සහභාගී වූවන් ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, භික්ෂු විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය යන ප්‍රමුඛ පෙළේ බෞද්ධ අධ්‍යාපන ආයතන තුනක නියෝජිතයින් සමඟ ක්‍රියාකාරීව අදහස් හුවමාරු කර ගත්හ. මෙහිදී ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා, විෂය නිර්දේශ, ශිෂ්‍යත්ව අවස්ථා, මූල්‍යමය අවශ්‍යතා සහ අනෙකුත් සැපයුම් සේවා විස්තර සහ පූර්වාවශ්‍යතා පිළිබඳ තොරතුරු ශ්‍රී ලාංකික ආයතන විසින් සහභාගී වූවන් සමඟ බෙදා ගන්නා ලදී. පාලි සහ සංස්කෘත භාෂා මාර්ගගතව හෝ මාර්ගගත නොවන ආකාරයකින් ඉගෙන ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කථිකාචාර්යවරුන්ගේ සේවාවන් ලබාගැනීමට මෙන්ම, විශේෂයෙන් බෞද්ධ උපදේශන මනෝවිද්‍යාව විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් මාර්ගගත පාඨමාලා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කිරීමට වියට්නාමයේ භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා කැමැත්ත පළ කරන බව වියට්නාම ආයතන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මැතිතුමා, ශ්‍රී ලංකාවේ වියට්නාමයේ තානාපති හෝ ති තාන් ට්‍රක් මැතිනිය සහ ජාතික වියට්නාම් බෞද්ධ සංඝ සභාවේ උප සභාපති සහ මහලේකම් අතිපූජ්‍ය ආචාර්ය තිච් ඩක් තියන් ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ අධ්‍යාපන අංශයේ වැදගත්කම සහ අදාළ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින ශක්තීන් පිළිබඳව ඉස්මතු කරමින් ආරම්භක දේශන පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන අංශය නියෝජනය කරමින්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කිරම විමලතිස්ස ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ (SIBA) සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා මෙම සමුළුව සඳහා සහභාගී වූහ.

හෝ චි මිං (HCMC), හියු සහ කැන් තෝ යන නගරවල පිහිටි වියට්නාමයේ ප්‍රධාන බෞද්ධ විශ්වවිද්‍යාල තුන නියෝජනය කරමින්, HCMC සහ හියු හි බෞද්ධ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් වන අති පූජ්‍ය තිච් නට් තු ස්වාමීන් වහන්සේ, අති පූජ්‍ය ආචාර්ය තිච් න්ගුයින් ඩැට් ස්වාමීන් වහන්සේ සහ කැන් තෝ නගරයේ කෙමර් ථෙරවාද බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මහලේකම් අතිපූජ්‍ය පඤ්ඤාමුනි ස්වාමීන් වහන්සේ මේ සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනොයි

2021 අගෝස්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close