ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසන් අදියරේ දී “දමිළ ජන සංහාරයක්” සිදු වූ බවට පළ වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසන් අදියරේ දී “දමිළ ජන සංහාරයක්” සිදු වූ බවට පළ වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම

‘ජන සංහාරය’ යන පදය භාවිතා වන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් යුතුව සිදු කරන ලද නිශ්චිත ක්‍රියාවන්ගෙන් සමන්විත, මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධ අතරින් වඩාත් දරුණු ගණයේ අපරාධයක් විස්තර කිරීම සඳහා ය. එබැවින්, 2009 වසරේ දී නිමාවට පත් වූ ශ්‍රී ලංකාවේ යුද ගැටුම්වල අවසන් අදියර, ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට එරෙහි ‘ජන සංහාරයක්’ ලෙස හුවා දැක්වීම සඳහා කැනඩාවේ ඇතැම් පාර්ශ්ව දරන උත්සාහයන් පිළිබඳව කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දැඩි අවධානය යොමුවී ඇත.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව බහු වාර්ගික සහ බහු ආගමික ප්‍රජාවකි. මෙවැනි පසුබිමක් තුළ, කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ දී සම්මත වූ ‘දමිළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පුද්ගලික මන්ත්‍රී යෝජනා අංක 104 හරහා, එක් ප්‍රජාවකට පමණක් එරෙහි සාවද්‍ය තොරතුරු නිරූපණය කිරීම හේතුවෙන්, ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පවත්නා අන්තර් ප්‍රජා සබඳතා කෙරෙහි බාධා එල්ල වී ඇත.

මීට අමතරවශ්‍රී ලාංකික දමිළ කැනේඩියානුවන් අරමුණු කරගනිමින් කැනේඩියානු රජය ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන් අප අගය කරන අතරමානසික සෞඛ්‍ය සහ සුවතා වැඩසටහන් පැවැත්වීම සහ සම්පත් ලබා දීම අරමුණු කරගනිමින්, දමිළ සිසුන් සඳහා අරමුදල් පිරිනැමීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීම සඳහා 2022 ජනවාරි 31 වැනි දින පවත්වන ලද උත්සවයක් අතරතුර දීඔන්ටාරියෝ හි අධ්‍යාපන අමාත්‍ය ස්ටීවන් ලෙච්චෙ මැතිතුමාමෙය අහිංසක දමිළ ජනතාවට එරෙහිව සිදු වූ ජන සංහාරයක් ලෙස අප හඳුනාගෙන ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් කථා කිරීමට අපි හිතාමතාම වචන තෝරා ගන්නෙමු” සහ 140,000 කට අධික අහිංසකයන් පිරිසක් විනාශයට පත් කරමින් කොළඹ පාලන තන්ත්‍රය මඟින් සිදු කළ ජන සංහාරයක්” යනාදී ප්‍රකාශ ඇතුළු අදහස් පළ කොට තිබීම පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. ස්කාබොරෝ - රූජ් පාක් හි ප්‍රාදේශීය පාර්ලිමේන්තු සභික විජේ තනිගසලම් මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එතුමා සිය දේශනය අතරතුර දී “දමිළ ජන සංහාරය” පිළිබඳව සඳහන් කළේ ය.

“කැනඩාවේ විදේශ කටයුතුවෙළඳ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කැනඩාවේ නිල ස්ථාවරය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට කරුණු කිසිවක් කැනඩා රජය විසින් හඳුනාගෙන නොමැති නොමැති බවට එම දෙපාර්තමේන්තුවට නිල වශයෙන් තහවුරු කළ හැකි යයි” සඳහන් කරමින් කැනඩාවේ විදේශ කටයුතු, වෙළඳ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2021 අප්‍රේල් 7 දිනැති රාජ්‍යතාන්ත්‍රික සටහන අපි අගය කරමු.  තවද, කැනඩා රජය විසින් දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් තහනම් කොට ඇත.

මෙවැනි පසුබිමක් තුළ, “දමිළ ජන සංහාරය” යන වචනය යළි යළිත් භාවිත කිරීම මඟින්, ඔන්ටාරියෝ හි වෙසෙන ශ්‍රී ලාංකික කැනේඩියානුවන්ගේ දරුවන් මෙන්ම, එම ප්‍රජාව අතර ද අසමගිය සහ පූර්ව විනිශ්චය ඇති කරයි. එබැවින්, සමාජ සංහිඳියාව වෙනුවෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලංකාව පිළිබඳ සාවද්‍ය තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසන් අදියරේ දී, ජාත්‍යන්තර වශයෙන්  තහනම් කරන ලද, ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) ත්‍රස්තවාදී කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ හමුදා මුහුණට මුහුණ ලා සටන් කළේ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව වාර්ගික වශයෙන් බෙදා වෙනම රාජ්‍යයක් පිහිටුවීම යි.  ඔවුහු මෙම අරමුණ සහිතව, දශක තුනක් මුළුල්ලේ පැවති දීර්ඝ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ අතර, එය සියලු ජන කොට්ඨාශවලට පීඩාවක් හා විනාශයක් ගෙන දුන්නේ  ය.

2009 වසරේ දී ක්‍රියාත්මක වූ යුද ගැටුම්වල අවසන් අදියරේ දී, එනම් එල්.ටී.ටී.ඊ සංවිධානය නොවැළැක්විය හැකි පරාජයකට මුහුණ දෙමින් සිටිය දී, ඔවුහු දමිළ සිවිල් වැසියන් මිනිස් පළිහක් බවට පත් කොට ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම සඳහා යොමු වූ අතර, සිවිල් වැසියන් ගැටුම් සහිත ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා දැරූ සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කළේ ය. සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳව චෝදනා එල්ල කිරීම සහ මරණ සංඛ්‍යාව අතිශයෝක්තියෙන් ප්‍රකාශ කිරීම, රජයේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා විදේශීය මැදිහත්වීම ඉල්ලා සිටීම යනාදිය එල්.ටී.ටී.ඊ සංවිධානය මෙහිදී යොදාගත් ක්‍රමවේද වේ.

එසේ වුවද, දමිළ සිවිල් වැසියන් 290,000 දෙනෙකු පමණ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදා ගැනීමටත්, ඔවුන් රැක බලා ගැනීමටත්, නැවත පදිංචි කිරීමටත් රජයේ හමුදා සමත් විය. ඊට අමතරව, සටන්කාමීන් නොවූ සිවිල් ජනතාව පමණක් නොව, 12,000 දෙනෙකුට අධික සන්නද්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ද පුනරුත්ථාපනය කොට නිදහස් කෙරුණු අතර, එමගින් ශ්‍රී ලංකා රජය සිය සතුරන් හමුවේ පවා අනවශ්‍ය මිනිස් ඝාතන වැළැක්වූ බව ඔප්පු කළේ ය.

එබැවින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පවත්වන ලද යුදමය ගැටුම්වල දී “ජන සංහාරය” සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාවක් සහ/හෝ චේතනාවක් පැවති බව හඟවන කිසිදු සාක්ෂියක් හො නොමැත. “ජන සංහාරයක්” පැවති බව හැඟවෙන ආකාරයේ කිසිදු සිදුවීම් රටාවක් ද නොතිබුණි. පැවති යුද ගැටුම්වල අවසාන අදියරේ තත්ත්වය සැලකිල්ලට ගත් කල, එහිදී භාවිතයට ගන්නා ලද උපායශීලී විකල්ප, යුක්ති සහගත සහ සමානුපාතික වූ බව හමුදා විශේෂඥයින් සඳහන් කොට ඇත.

යුද ගැටුම් පැවති අවසන් අදියරේ දී ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව සමූලඝාතනය කළ බව තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළ ඇතැම් බරපතල දෝෂ සහිත වාර්තාවල අඩංගු සිවිල් ජීවිත හානි පිළිබඳ උපකල්පිත සංඛ්‍යා දත්ත එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවශේෂ කණ්ඩායම් සහ හිතවත් පිරිස් ඇතුළු ඇතැම් පාර්ශ්ව විසින් ග්‍රහණය කොට ගෙන ඇත. කෙසේ වුවද, විවිධ මතභේදවලට තුඩු දී ඇති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩලයේ (PoE) වාර්තාවේ පවා, “ජන සංහාරය” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එල්ල වූ කිසිදු චෝදනාවක් දක්නට නොමැත. 2015 වසරේ දී සිදු කළ ශ්‍රී ලංකාව පිළිබඳ OHCHR විමර්ශනයට (OISL) අනුව, ශ්‍රී ලංකාවට එල්ල වූ “යුද අපරාධ” පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ලබාගත් ප්‍රධාන සොයාගැනීම්වල ද, “ජන සංහාරයක්” පිළිබඳව යෝජනා කෙරෙන්නේ නැත.

ගැටුම් ක්‍රියාත්මක වූ අවසන් මාස කිහිපය තුළ දී “සාමාන්‍ය වැසියන් 40,000 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට” විශේෂඥ මණ්ඩලයේ වාර්තාව කිසිදු සාක්ෂියක් නොමැතිව සිදු කරන ලද ප්‍රකාශය, ජන සංහාරය පිළිබඳ ප්‍රකාශය පිළිගන්නා කණ්ඩායම් විසින් ග්‍රහණය කොටගෙන ඇත. 330,000 ක උපකල්පිත සංඛ්‍යාවට එරෙහිව, ශ්‍රී ලංකා හමුදාව විසින් අවසානයේ දී දළ වශයෙන් 290,000 ක් වූ පුද්ගල සංඛ්‍යාවක් බේරාගත් බවට නියම කිරීමෙන්, සිවිල් මරණ 40,000 ක් පිළිබඳ උපකල්පිත සංඛ්‍යාලේඛන විශේෂඥ වාර්තාව මගින් ඉදිරිපත් කරන ලදී. මෙම අගය එම කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර එම (වන්නි) ප්‍රදේශයේ විසූ සිවිල් වැසියන් සංඛ්‍යාව ලෙස සැලකේ. 330,000 ක සිවිල් වැසියන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලය යොදාගත් මෙම උපකල්පිත සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම අත්තනෝමතික නිර්මාණයකි. 2009 වසරේ එම මාසවල දී, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් වැසියන් කොපමණ පිරිසක් රඳවා තබාගෙන සිටියා ද යන්න ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත කිසිවකු නිශ්චිතවම දැන සිටියේ නැත.

තවද, ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කණ්ඩායම විසින් වාර්තා කරන ලද මරණ සංඛ්‍යාව 7,721 ක (2009 මැයි 13 දක්වා) අවම අගයක් ලෙස, විශේෂඥ මණ්ඩල වාර්තාව සඳහන් කරයි. කෙසේ වුවද, 40,000 ක් වූ පිරිසකගේ මරණ සංඛ්‍යාව නිවැරදි වීමට නම්, ගැටුම අවසන් වූ 2009 වසරේ මැයි 18 වැනි දින දක්වා යෙදුණු අවසන් දින කිහිපය තුළ දී මිනිසුන් 30,000 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරා දැමිය හැකි වූයේ කෙසේද යන්න පැහැදිලි නොකොට විශේෂඥ මණ්ඩල වාර්තාව මගින් මෙම සංඛ්‍යාව පසුකාලීනව මතභේදයට ලක් කොට ඇත.

2011 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උතුරු පළාතේ එක්රැස් කරන ලද දත්ත අනුව, 2008 සහ 2009 යන වසරවල උතුරු පළාතේ ක්‍රියාත්මක වූ අවසන් යුද ගැටුම් හමුවේ, ස්වාභාවික හේතූන් හැර වෙනත් කරුණු හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 9,283 දෙනෙකු ලෙස සඳහන්ව ඇත. 1981 වසරේ දී සිදු කළ සංගණනයෙන් පසුව, ප්‍රථම වරට එවැනිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර දත්ත එකතු කිරීම, ප්‍රධාන වශයෙන් උතුරු පළාතේ සේවය කරන දමිළ රාජ්‍ය සේවකයින් විසින් සිදු කරන ලදී. 2006 වසරේ ජූලි මස සිට 2009 වසරේ මැයි මස දක්වා කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක කළ අවසන් යුද ගැටුම් හමුවේ ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළව සිදු වූ මරණ සංඛ්‍යාව 5,876 කි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවලට වඩා විශාල මරණ සංඛ්‍යාවක් සිදුව ඇතැයි උපකල්පනය කිරීම පමණක් තාර්කික වන අතර, 2008 සහ 2009 යන වසරවල දී ස්වභාවික නොවන වෙනත් හේතූන් මත උතුරු පළාතේ මිය ගිය බවට වාර්තා වූ 9,283 ක් වූ අතිමහත් බහුතරය, එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හෝ සෘජුවම සටන්වලට සම්බන්ධ වූවන් විය හැකි ය.

විශේෂඥ වාර්තාවේ අඩංගු කේන්ද්‍රීය දුර්වලතාව බවට පත්ව ඇති මතභේදයට තුඩු දී ඇති සංඛ්‍යා දත්ත භාවිතා කිරීම, එය සම්මත කරන බවට ප්‍රකාශ කරන ලද සාක්ෂිවල ප්‍රමිතිය මගින් උග්‍ර වන බව නීති විශාරදයින් හඳුනාගෙන ඇත. වගකිව යුතු සහ ඉදිරි අධිකරණ කටයුතු සහ වෙනත් ක්‍රියාවලීන් සඳහා සුදුසු අය කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මහා පරිමාණයෙන් චෝදනා එල්ල වන සාපරාධී ක්‍රියා පිළිබඳ ලේඛනයක (‘මට විශ්වාස බව දැනුණා’, ‘මට සාධාරණ විශ්වාසයක් දැනුණා’, ‘මට සම්පූර්ණයෙන්ම ඒත්තු ගියා’, ‘මට සැකයක් තිබුණා’) ආදී වශයෙන් නීත්‍යානුකූල නොවන විශ්ලේෂණයක් භාවිතා වේ. යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාගවලදී චෝදනා ඔප්පු කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ සහ විනිශ්චය සභා මේ ආකාරයේ වාර්තා මත විශ්වාසය තබා නොමැති බව ඔවුන් සඳහන් කරයි.

2009 වසරේ දී යුද ගැටුම් අවසන් වූ දින පටන්, ප්‍රතිස්ථාපන යුක්තිය පිළිබඳ සමස්ත සංකල්පය යටතේ ප්‍රතිස්ථාපනය, වන්දි ගෙවීම, නැවත ඒකාබද්ධ කිරීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසන්ධාන හා සබැඳි ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලදී. ශ්‍රී ලංකාව මෙම ක්‍රියාදාමයන් සමඟ ඉදිරියට ගමන් කරන මොහොතක, එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ සෙසු පිරිස් ඇතුළු ඇතැම් කණ්ඩායම් ‘දමිළ ජන සංහාරය’ වැනි න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අපකීර්තියට පත්කිරීමටත්  අස්ථාවර කිරීමටත් උත්සාහ කරයි.

140,000 ක මරණ සංඛ්‍යාවක් පිළිබඳව උපුටා දක්වමින් ස්ටීවන් ලෙච්චෙ මැතිතුමා පළ කළ අදහස්වලින් පෙනී යන පරිදි, සත්‍යාපනය නොකළ වාර්තාවල අඩංගු කරුණු ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමට සහ මත පළ කරන්නන් සහ තීරණ ගන්නන් වෙත බලපෑම් එල්ල කිරීමට සමත් වී ඇත. කාලයාගේ ඇවෑමෙන්, එක්සත් ජාතීන්ගේ වාර්තා පදනම් වී ඇති සාක්ෂිවල පවත්නා සැක සහිත ස්වභාවය අමතක වුවහොත්, ඔවුන්ගේ ඔප්පු නොකළ චෝදනා නැවත නැවත භාවිතා කිරීම හේතුවෙන් එම චෝදනා බලවත් වනු ඇත.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ දීර්ඝ කාලීන සහයෝගීතාවයක නිරතව දේශීය ක්‍රියාවලීන් හා ආයතන හරහා සිය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාවට නැංවීමට කැපව සිටින මෙවැනි මොහොතක දී, ජන සංහාරය පිළිබඳ මෙම චෝදනා මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවත්නා සබඳතා කෙරෙහි  බලපෑම් එල්ල කරයි.

එබැවින්, පැමිණ, හමුවී මේ පිළිබඳව තමා සමඟ සංවාදයකට එළඹෙන ලෙස ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සඳහා කැපවී සිටින සියලුම දෙනාට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විවෘත ආරාධනාවක් කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඔටාවා

 2022 පෙබරවාරි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close