ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක් මැතිතුමා 2021 අගෝස්තු 20 වැනි දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමු විය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ පත්වීම වෙනුවෙන් සුබ පැතූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා, ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව එතුමාට කරුණු පැහැදිලි කළේය. ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශිකයින්ගේ ආරක්ෂාව තලේබාන් සංවිධානය විසින් තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් සුරැකීමටත් පොරොන්දුවක් ද ලබා දුන් බව එතුමා අවධාරණය කළේය. ඇෆ්ගනිස්ථානය ඉතා ඉක්මනින් සාමකාමී රාජ්‍ය ව්‍යුහයක් ස්ථාපිත කොට, සෙසු ලෝකය සමඟ ඒකාබද්ධ වනු ඇතැයි පාකිස්ථානය අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රවණතා පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අනෙකුත් මිත්‍ර ජාතීන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ශ්‍රී ලාංකිකයින් එම රටෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරන බවත්, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා මහ කොමසාරිස් ඛට්ටක් මැතිතුමා වෙත දැනුම් දුන්නේය. පීරිස් අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්තාන රජයේ සහාය ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් තම රජය විසින් උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින් මහ කොමසාරිස් ඛට්ටක් මැතිතුමා ඒ සඳහා ප්‍රතිචාර දැක්වීය.

ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙන්ම, ආයෝජන ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ඒකාබද්ධ මුලපිරීම් තුළින් දෙරට අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් පවතින විෂය පථය පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ පාකිස්ථාන මහ කොමසාරිස් ඛට්ටක් මැතිතුමා සාකච්ඡා කළහ.

පාකිස්ථාන රජය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ලබා දී ඇති පුහුණු අවස්ථා සහ ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීම ඇගයූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඉදිරි වසරවල දී එම අවස්ථා සහ ආරක්‍ෂක කටයුතු පිළිබඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවිය යුතු බව සදහන් කළේය.

හවුල් සහයෝගීතාවයෙන් යුතුව ඉදිරියට යන නව ව්‍යාපෘති සඳහා, දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා විවිධාංගීකරණය කළ හැකි, පුළුල් පරාසයක පවතින අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද ඔවුහු ගවේෂණය කළහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close