ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා අමාත්‍ය විජිත හේරත් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා අමාත්‍ය විජිත හේරත් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලීල් 2025 ජුනි 2 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් බැහැදැක ගාසා තීරයේ තත්ත්වය පැහැදිලි කරමින්, ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.

පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ කලාපීය හා ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාව පලස්තීනයට ලබා දුන් අඛණ්ඩ සහයෝගීතාව සහ උපකාරය පලස්තීන තානාපතිවරයා අගය කළේය. එක්සත් ජාතීන්ගේ සහන හා ක්‍රියාකාරී ඒජන්සිය හරහා ගාසා තීරයේ ළමා අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 1ක පරිත්‍යාගයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කළේය.

ගාසා තීරයේ වත්මන් මානුෂීය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන දැඩි අවධානය අමාත්‍ය හේරත් ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ විධිවිධාන සහ  එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට ඇති අයිතිය සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ සහයෝගය ඔහු නැවත තහවුරු කළේය. දිගුකාලීන ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් 1967 දේශසීමා පදනම මත, අසල්වැසි රාජ්‍යයන් දෙකක ජාත්‍යන්තරව එකඟ වූ පරාමිතීන්ට අනුකූලව සාකච්ඡාමය විසඳුමකට සහය දීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජුනි 03 වැනි දින

Please follow and like us:

Close