ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අප්‍රිකානු කලාපයේ නියෝජිතයන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අප්‍රිකානු කලාපයේ නියෝජිතයන් හමුවෙයි

අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කෙරෙහි අවධානය යොමු කිරීම සහ එම රටවල් සමඟ නැවත සම්බන්ධ වීම පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම කලාපයේ නියෝජිතයන් හමුවිය. විදේශ කටයුතු අමාත්‍යංශය, 2023 පෙබරවාරි 03 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සංවිධානය කළේ ය. මෙම හමුව ආරම්භයේ දී අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපයේ රටවල් කෙරෙහි දක්වන වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව මෙම රැස්වීම සංවිධානය කරන ලද බව ප්‍රකාශ කළේ ය.

දෙරට අතර පවත්නා ශක්තිමත් දේශපාලන සබඳතා සහ වසර ගණනාවක් මුළුල්ලේ පවතින හවුල්කාරිත්වය සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් අප්‍රිකානු රටවල් සමඟ වඩාත් සාර්ථක සබඳතා ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු වන බව ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරන ලදී. විවිධ ගැටුම් ඇතුළු වත්මන් ගෝලීය වර්ධනයන් සහ එමඟින් අදාළ කලාපවල පිහිටි රටවලට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ප්‍රවණතා සහ ආර්ථික අභියෝග මෙන්ම එම අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් මෙම  නියෝජිත පිරිස දැනුම්වත් කරන ලදී. සමාන මුහුණුවරකින් යුක්ත අභියෝගවලට මුහුණ දෙන අප්‍රිකානු කලාපයේ රටවල් සමඟ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් ශක්තිමත් හඬක් නැගීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

අප්‍රිකානු කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ඇගයූ  දූත පිරිස, ශ්‍රී ලංකාව සහ ඔවුන්ගේ රටවල් අතර පවත්නා සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සිය සහය ලබාදෙන බවට සහතික විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම හමුව සඳහා සහභාගි වූහ. අප්‍රිකානු කලාපයේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 17 දෙනෙකු මෙම හමුව සඳහා භෞතික වශයෙන් සහභාගි වූ අතර තිදෙනෙකු අතථ්‍ය අයුරින් සම්බන්ධ වූහ. අප්‍රිකානු කලාපයේ සිටින ශ්‍රී ලංකා නියෝජිතයෝ පස් දෙනා ද ඊට අතථ්‍ය අයුරින් සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close