ශ්‍රී ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවකයන් පිළිබඳ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විරෝධතාවක් නොමැති බවට සහතික නිකුත් කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවකයන් පිළිබඳ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විරෝධතාවක් නොමැති බවට සහතික නිකුත් කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අක්‍රමවත් හා ලේඛනගත නොවී ඕමානය වෙත සංක්‍රමණය වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විරෝධතාවක් නොමැති බවට සහතික (NOC) නිකුත් කිරීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී ඇති ‘නව ක්‍රියා පටිපාටිය’ සම්පූර්ණ කළ සේවා යෝජකයන් වෙත මෙම විරෝධතාවක් නොමැති බවට සහතික භාරදෙමින්, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පැවසුවේ, අක්‍රමවත් අන්දමින් ලේඛනගත නොකළ ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමානයට පැමිණීම හා මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙල ඉවහල් වන බවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නියාමනය කරනු ලබන, පිටත්ව යාමට පෙර අනිවාර්ය රැකියා පුහුණුව සහ වෙනත් අනිවාර්ය අවශ්‍යතා මඟහැරවීම සඳහා ඇතැම් වංචනික බඳවා ගැනීමේ ආයතන/පුද්ගලයින් විසින් අවදානමට ලක්වන ශ්‍රී ලාංකික කාන්තාවන් සංචාර වීසා බලපත්‍ර කාණ්ඩය යටතේ රැකියා සඳහා කැඳවාගෙන එනු ලැබේ. ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් සඳහා රැකියා වීසා ලබා ගැනීම පිණිස පූර්ව අවශ්‍යතාවක් ලෙස විරෝධතාවක් නොමැති බවට සහතික නිකුත් කිරීම තුළින්, සේවා යෝජකයන්ගේ හා සේවකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම මෙන්ම, කාන්තා සංක්‍රමණික සේවකයන් පිළිබඳ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික කාන්තා සංක්‍රමණික ගෘහ සේවිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශාල සහනයක් ලබා දෙන අතර, 2020 දෙසැම්බර් 18 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් විශාල පණිවුඩයක් ද ලබා දෙන බව ද තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පැවසීය.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2020 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ‘නව ක්‍රියා පටිපාටියක්’ හඳුන්වා දෙන ලදී. මෙම නව ක්‍රියාපටිපාටියට අනුව, රාජකීය ඕමාන් පොලිසියේ විදේශ ගමන් බලපත්‍ර සහ පදිංචිය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ, එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ‘විරෝධතාවක් නොමැති බවට සහතිකය’ (NOC) බඳවා ගැනීමේ නියෝජිතායතන හෝ පුද්ගල අනුග්‍රාහකයන් විසින් ඉදිරිපත් කරන්නේ නම් පමණි. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම ‘විරෝධතාවක් නොමැති බවට සහතිකය’ (NOC) නොමිලයේ නිකුත් කරයි.

අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙම විරෝධතාවක් නොමැති බවට සහතිකය පිළිබඳ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා දක්වන නොසැලෙන සහයෝගය වෙනුවෙන්, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විදේශ අමාත්‍යාංශයට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයට මෙන්ම රාජකීය ඕමාන් පොලිසියේ විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිය අවංක අගය කිරීම හා කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

 

2020 දෙසැම්බර් මස 18 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close