ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සඳහා  අතථ්‍ය අයුරින් පැවැත්වූ ‘ජර්මනිය වෙත දියත් කරන්න’(‘Launch to Germany’) සුමට-ප්‍රවේශ වැඩසටහන

ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සඳහා  අතථ්‍ය අයුරින් පැවැත්වූ ‘ජර්මනිය වෙත දියත් කරන්න’(‘Launch to Germany’) සුමට-ප්‍රවේශ වැඩසටහන

ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරිකයන්ට ජර්මනිය වෙත පිවිසීම පහසු කරවීම සඳහා අතථ්‍ය අයුරින් පැවැත්වූ  සුමට-ප්‍රවේශ තරගයක් වන ‘ජර්මනිය වෙත දියත් කරන්න’ වැඩසටහන, බර්ලිනයේ පැවති 2021 ඒෂියාබර්ලින් සමුළුව අතරතුර දී සිදු කෙරුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආරම්භක තාක්ෂණවේදීන් අතරින් ඩිජිටල් යුගය නිර්මාණය කරන්නන්  සොයා ගැනීම, හඳුනා ගැනීම සහ සම්බන්ධ කර ගැනීම යනාදී අරමුණු  සඳහා කදිම තෝතැන්නක් සකස් කෙරිණි.

‘ආරම්භක ව්‍යාපාර සඳහා හිතකර දේශයක් කරා’ යන තේමාව යටතේ පැවැත්වූ 2021 ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනය, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජර්මනියේ එන්පැක්ට් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා හව් ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලදී. දෙමුහුන් ආකෘතියක් යටතේ පැවති මෙම වැඩසටහන, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය සහ එන්පැක්ට් හි කළමනාකාර අධ්‍යක්ෂ ජෑන් ලැන්චන්මේයර් මහතාගේ ආරම්භක දේශනවලින් ආරම්භ කෙරිණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ඕෂධ සේනානායක මහතා ද පැමිණ සිටි පිරිස ඇමතුවේ ය.

මෙම සුමට-ප්‍රවේශ මුලපිරීම අපේක්ෂා සහගත ආරම්භක ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන සහ විසඳුම් විදහා දැක්වීමටත්, යුරෝපය පුරා ඇති විවිධාකාර වෙළඳපොළ තුළ තම ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහාත් වූ ආරම්භක ස්ථානයකි. මෙමඟින් තෝරාගත් සහභාගිවන්නන්ට ජාත්‍යන්තර තලයේ ආරම්භක ව්‍යාපාර පද්ධති හවුල්කාරිත්වවල ශක්තිය සහ ශක්‍යතාව පරීක්ෂා කිරීමටත්, කර්මාන්ත, ආයෝජකයන් සහ වෙළෙඳපොළ සම්බන්ධතා සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමටත්, අංශයේ ප්‍රවීණයන්ගේ උපදේශන සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළකට ප්‍රවේශ වීම සඳහා මෙහෙයුම් පරිමාණ ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ.

වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය, “මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අයදුම්පත් 34 ක අතිවිශාල ප්‍රතිචාරයක් ලැබීම සතුටට කරුණක් වන බවත්, එය ශ්‍රී ලංකාවේ තාක්ෂණ අංශය තුළින් අපේක්ෂා කෙරෙන ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමේ සමස්ථ ඉලක්කය සඳහා දායක වන බවත්” පැවසුවා ය.

සෙන්ස් ඇග්‍රෝ, අලාවි.අයි, මැජික්බිට්, නිෆ්ට්‍රෝන්, යුනිවර්සර්, බ්ලූ ලෝටස් 360 සහ ෂවුට් අවුට් යන අවසන් තරගකරුවන් සත් දෙනා, තානාපති කාර්යාල දිනයේ දී සචින්ද්‍ර සමරරත්න මහතා (අයි.සී.ටී.ඒ), සිද්ධාර්ත් භාසින් මහතා (එන්පැක්ට්), රන්ධුලා ද සිල්වා මහත්මිය (ගුඩ් ලයිෆ් එක්ස්), සහ මයික් රිචඩ්සන් මහතා (ඒෂියාබර්ලින්) ඇතුළු ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත විශේෂඥ මණ්ඩලයක් වෙත සිය විසඳුම් ලබා දුන්හ.

අද්විතීය නවෝත්පාදන ඉදිරිපත් කරමින් ‘ජර්මනිය වෙත දියත් කරන්න’ තරගයේ ජයග්‍රාහකයන් බවට පත්වූ අලාවි ඒ.අයි, මැජික්බිට් සහ සෙන්ස් ඇග්‍රෝ යන  කණ්ඩායම්වලට යුරෝපයේ ආරම්භක ව්‍යාපාර මධ්‍යස්ථානය වන බර්ලිනයේ සිට යුරෝපීය වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා එන්පැක්ට් සහ ඒෂියාබර්ලින් හි පූර්ණ අනුග්‍රහයෙන් යුත් සති 8ක අතථ්‍ය සුමට-ප්‍රවේශ (GIPS) වැඩසටහනක් හිමි වනු ඇත.

“අලාවි. ඒ.අයි” යනු ව්‍යාපාරාන්තර සාස් (SaaS) යෙදුම් පද්ධතියක් වන අතර, එය කුඩා හා මධ්‍යම පරිමාණයේ  සිල්ලර වෙළඳ සන්නාම හිමි ඩිජිටල් අලෙවිකරුවන්ට දත්ත විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය උපයෝගී කර ගනිමින් ඉහළ අපේක්ෂාවන් සහිත ග්‍රාහක පිරිසක් සොයා ගැනීමට උපකාරී වන අතර, ‘මැජික්බිට්’ විසින් දෘඪාංග, මෘදුකාංග, ජංගම යෙදුම් පද්ධති, අන්තර්ගතය සහ පුහුණු වැඩසටහන් ආදිය ඇතුළත් ඒකාබද්ධ වේදිකාවක් ආධාරයෙන් ලොව පුරා සිටින සිසුන් සඳහා තාක්ෂණය සමඟ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට අධ්‍යාපනික-තාක්ෂණික මෙවලම් සපයනු ලැබේ.

"සෙන්ස් ඇග්‍රෝ" හි ඩිජිටල් කෘෂිකාර්මික පද්ධතිය කුඩා වතු හිමියන් සඳහා නිර්මාණය කර ඇති අතර එය සමස්ත කෘෂිකාර්මික අංශය වෙත අනාගතයට සරිලන ගොවි විසඳුම් ලබා දෙන, පහසුවෙන් භාවිතා කළ හැකි, බුද්ධිමය ශක්‍යතා සහිත, ස්වයං-විකාශනයක් සිදු වන පද්ධතියක් ඔස්සේ නිර්මාණය කර ඇත.

ආරම්භක ව්‍යාපාර පද්ධතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දැක්ම ප්‍රවර්ධනය කිරීම සඳහා, ඩිජිටල් සංචාරක තානාපති (NOMAD4LK) සහ සමාජ ව්‍යවසායකත්ව සමුළුව යන වැඩසටහන් ද ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනයට ඇතුළත් කොට තිබුණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලින්

2021 ඔක්තෝබර් 25වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close