ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් ලබා දෙන්නැයි ස්වීඩනයෙන්ද ඉල්ලයි

ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් ලබා දෙන්නැයි ස්වීඩනයෙන්ද ඉල්ලයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් අවශ්‍යතාව සපුරාලීම පිණිස මැදිහත් වෙන්නැයි ස්වීඩනයේ ශ්‍රී  ලංකා  තානාපති දර්ශන එම් පෙරේරා මහතා ස්වීඩනයේ  විදේශ අමාත්‍ය ඇන් ලින්ඩේ මහත්මිය ගේ අවධානය යොමු කර තිබේ.තානාපතිවරයා ඉකුත් 8 වනදා ස්ටොක්හෝම්හි දී විදේශ අමාත්‍ය ඈන් ලින්ඩේ මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ පවතින කොව්ඩ් එන්නත් හිඟය පිළිබඳව  ඇය ගේ අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගණනාවකට කොවැක්ස් වැඩ පිළිවෙළ හරහා එන්නත් සැපයීමට ගෙන ඇති ගෝලීය ප්‍රයත්නයන්හි ස්වීඩනයේ ශක්තිමත් හවුල්කාරිත්වයද මෙහිදී අමාත්‍යතුමිය අවධාරණය කළාය.

ද්විපාර්ශවික සම්බන්ධතා ආවරණය වන සියලු ක්ෂේත්‍රයන් එහිදී සාකච්ඡාවට බඳුන් විය. ද්විපාර්ශවික දේශපාලන හා  ආර්ථික කරුණු මෙන්ම තිරසර සංවර්ධනය හා පාරිසරික සහ දේශගුණික විපර්යාස සහ කාන්තා සවිබලකරණය කෙරෙහි කේන්ද්‍රගත වූ මූලාරම්භයන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට පාර්ශවයන් දෙකම එකඟ වන ලදි.

වෙළඳ සහ ආර්ථික සහයෝගයේදී යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් හි විධිවිධාන වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීම ඇතුළුව භාණ්ඩ වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව තානාපතිතුමන් අවධාරණය කරන ලදි.වත්මන් වෙළඳ පරිමාව එහි සැබෑ විභවයට වඩා අඩු බව නිරීක්ෂණය කළ පෙරේරා මහතා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සැපයුම් දාමයට වඩා හොඳින් අන්තර්ග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් වෙළඳපොළ ප්‍රවේශය ඉහළ නංවා ගැනීම පිණිස ස්වීඩනයේ සහාය පතන ලදි. දේශගුණ විපර්යාස සහ පරිසරය සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගන්නා ලදි. 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මත වැඩියෙන් රඳා පැවැතීමට  ශ්‍රී ලංකාව අදහස් කරන බව දැනුම් දුන් තානාපතිතුමන් කාලගුණ විපර්යාස අවම කිරීම කෙරෙහි ශ්‍රී ලකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විදේශ අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි.එසේම හරිත තාක්ෂණය පිළිබඳව ස්වීඩනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති උනන්දුව ඔහු අවධාරණය කරන ලදි .හරිත තාක්ෂණය සහ දේශගුණික යටිතල සහයෝගිතාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව දෙරටම සොයා බැලිය යුතු බවට අමාත්‍යතුමිය එකඟ විය. ස්වීඩනය ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. කාන්තාවන් සවිබල ගැන්වීම සහ ආර්ථික වශයෙන් නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී  අවධානය යොමු විය. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇතුළුව ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් නායකත්වය දරන සාර්ථක ව්‍යාපාර පිළබඳව තානාපතිතුමන් සඳහන් කළ අතර වෙළඳ පොළ ප්‍රවේශය සහ ධාරිතා ගොඩනැංවීමෙන් ඔවුනට සහාය ලබා දීම මගින් ඔවුන් සැලකිය යුතු ලෙස සවිබල ගැන්විය හැකි බව පෙන්වා දුන්නේය. මෙම ක්ෂේත්‍රයේ  සහයෝගිතාව සම්බන්ධයෙන් ස්වීඩනයේ කැපවීම ප්‍රකාශ කළ විදේශ අමාත්‍යතුමිය කාන්තා සවිබලකරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශක්තිමත් හවුල්කාරිත්ව ඇතුලු ස්වීඩනයේ මූලාරම්භයන් විදේශ අමාත්‍යතුමිය තානාපතිතුමන් දැනුවත් කරන ලදි.

විදේශ අමාත්‍ය ලින්ඩේ මහත්මිය සහ තානාපති දර්ශන පෙරේරා මහතා කොවිඩ්-19 වසංගතය අවම කිරීම පිණිස එකිනෙක රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග, එන්නත්කරණය ආශ්‍රිත එන්නත් සපයා ගැනීමේ අභියෝග සහ වසංගතයේ සමාජ ආර්ථික බලපෑම  සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදි.

විදේශ අමාත්‍ය ඈන් ලින්ඩේ මහත්මිය සමග ප්‍රධාන සංධාන නිලධාරී තානාපතිණි මාරියා ක්‍රිස්ටිනා ලුන්ඩ්ක්විස්ට් මහත්මිය, අමාත්‍ය කාර්යාලයේ අංශ ප්‍රධානී නික්ලාස් ස්ට්‍රොම් මහතා සහ අමාත්‍යාංශයේ ආසියා සහ ශාන්තිකර කලාපය සදහා අංශයේ ප්‍රධාන නිලධාරී ලොවිසා හොෆ්මන් මහත්මිය මෙම සාකච්ඡා සඳහා සහභාගි විය. වත්මන් තත්ත්වය යටතේ මෙම හමුව අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි.

සාකච්ඡාවලින් මතුවන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර නිල තානාපති සබඳතා 1949 වසරේදී නොවැම්බර් මාසයේදී ස්ථාපිත කරනු ලැබූ අතර ඒ අනුව දෙරට අවුරුදු 71 ක් දිගු කාලයක් පුරා තානාපති සබඳතා පවත්වා ගෙන තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

 ස්ටොක්හෝම්

2021 ජූනි 21 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close