වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ වෙබ්-සමුළුවක් සංවිධානය කරයි

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ වෙබ්-සමුළුවක් සංවිධානය කරයි

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වියට්නාමයේ විදේශ ආයෝජන නියෝජිතායතනය සමඟ එක්ව 2023 සැප්තැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ වෙබ්-සමුළුවක් ලියාපදිංචි සහභාගිවන්නන් 52 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමය හරහා සංවිධානය කරන ලදී.

තානාපති ආචාර්ය සාජ් යූ මෙන්ඩිස් මහතා රැස්ව සිටි පිරිස  සාදරයෙන් පිළිගත් අතර නැඟෙනහිර සහ බටහිර වෙළෙඳපොළ වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම, තරඟකාරී වැටුප් අනුපාත යටතේ උගත් සහ අනුවර්තී ශ්‍රම බලකාය, ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාව, පකිස්තානය සහ යුරෝපා සංගමය සහ චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලට ද වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට නියමිත නව වෙළෙඳ ගිවිසුම් සමඟ වෙළෙඳපොළ ප්‍රවේශය සැලසීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම වියට්නාම ආයෝජකයින්ට ප්‍රයෝජනවත් විය හැක්කේ මන්දැයි දැනුවත් කළේය. රට ආර්ථික අභියෝගවලින් සීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින හෙයින් ආයෝජනය සඳහා හොඳම කාලය මෙය බැවින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව සලකා බලන ලෙස ඔහු වියට්නාම ආයෝජකයින්ට ආරාධනා කළේය.

රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් වියට්නාම ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබා දීමට එකඟ වූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක ආයෝජන ප්‍රතිපත්ති, අවස්ථා සහ ආයෝජකයින්ට ලබා දෙන දිරිගැන්වීම් පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරිපත් කළේය.

මුල්‍ය සේවා සහ කොළඹ වරාය නගර අනුකූලතා ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ රේවන් වික්‍රමසූරිය මහතා වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා සහ ආයෝජන දිරිගැන්වීම් පිළිබඳව ඉදිරිපත් කළේය.

වියට්නාමයේ විදේශ ආයෝජන නියෝජිතායතනයේ (FIA) ආයෝජන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ඩූ ක්වෝන් නා වියට්නාමයේ පවතින ආයෝජන අවස්ථා සහ දිරිගැන්වීම් පිළිබඳව ඉදිරිපත් කළ අතර, සැලසුම් සහ ආයෝජන අමාත්‍යාංශයේ ආර්ථික කලාප කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ට්‍රාන් ක්වොක් ට්‍රං විසින් වියට්නාමයේ විශේෂ ආර්ථික කලාපවල ඇති ආයෝජන අවස්ථා සහ ආයෝජන දිරිගැන්වීම් ඉදිරිපත් කරන ලදී.

උනන්දුව දක්වන ඕනෑම ආයෝජකයෙකුට දිරිගැන්වීම්, මාර්ගෝපදේශ ආදිය පිළිබඳ තොරතුරු ලබා දීමෙන් සහ ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සමඟ සම්බන්ධ වෙමින් ඕනෑම වේලාවක සහාය දීමට තානාපති කාර්යාලය සූදානම් බවත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන ගමනාන්තය ලෙස සලකන ලෙස වියට්නාම ආයෝජකයින්ට ආරාධනා කරන බවත්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් (වාණිජ්‍ය) කිෂානි වික්‍රමසිංහ අවසන් දේශනය පවත්වමින් සඳහන් කළාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හා නොයි

2023 සැප්තැම්බර් 18

Print Friendly, PDF & Email
Please follow and like us:

Close