විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවෙයි

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවෙයි

 

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2023 සැප්තැම්බර් 27 වැනි දින, බර්ලිනයේ පිහිටි ෆෙඩරල් විදේශ කාර්යාලයේ දී, ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවූවා ය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම හමුවට සහභාගී වූහ. ශ්‍රී ලංකා - ජර්මානු ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සංධිස්ථානයක් වන, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරෙන පසුබිමක් මධ්‍යයේ මෙම හමුව පැවැත්විණි.

හමුව ආරම්භයේ දී විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය පිළිගත් රාජ්‍ය ලේකම් බැගර් මහතා, මෙම හමුව අනාගත සහයෝගීතාවය සඳහා නවමු මංපෙත් විවර කරනු ඇතැයි අවධාරණය කළේ ය.

 ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින විශිෂ්ට සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළඳපොළ වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සඳහා ජර්මනිය ලබා දෙන සහයෝගය අගය කළා ය. සෞඛ්‍ය සේවකයින් සඳහා ජර්මානු වෙළඳපොළ තුළ පවතින ඉහළ අවස්ථා සහ තිරසාර පදනමක් මත මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ජර්මනිය තුළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද එතුමිය අවධාරණය කළා ය. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය පුහුණු අධ්‍යාපනය තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.

ශ්‍රී ලංකාව සමඟ ජර්මනිය පවත්නා දිගුකාලීන සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වය අගය කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, මෙරට වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ජර්මනිය පිරිනමන සෘජු සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ෆ්‍රෙඩ්රික් නවුමන් පදනම ඇතුළු ජර්මානු පදනම් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ද එතුමියගේ පැසසුමට ලක්විය.

ආර්ථිකය ස්ථාවර කිරීම සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය ලේකම් බැගර් මහතා දැනුම්වත් කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, දේශීය යාන්ත්‍රණ ඔස්සේ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ද අවධාරණය කළා ය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ජර්මනිය ඇතුළු පැරිස් සමාජය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ද එතුමිය මෙහිදී අගය කළා ය.

ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත්කම සහ විශේෂයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) රාමුව යටතේ පැවැත්විය හැකි අනාගත සහයෝගීතාව පිළිබඳව ද  දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාව  2023 වසරේ ඔක්තෝබර් මස සිට වසර දෙකක් දක්වා මෙම සංගමයේ සභාපතිත්වය දැරීමට නියමිත ය.

ජාත්‍යන්තර දේශගුණික මූල්‍යකරණය සඳහා ජර්මනිය දක්වන ඉහළ කැපවීම සැලකිල්ලට ගත් විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, දේශගුණික සෞභාග්‍ය ​​සැලැස්ම, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කේන්ද්‍ර කරගත් හරිත වර්ධනය සඳහා වූ උපායමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රාරම්භන සඳහා ජර්මානු සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය.

විදේශ ලේකම් මට්ටමෙන් ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන නිතිපතා පැවැත්වීමේ වැදගත්කම සහ අනාගත සහයෝගීතාවය සඳහා ඉවහල් වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සිය අදහස් හුවමාරු කරගත් හ.

විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 සැප්තැම්බර් 27-30 දින දක්වා ජර්මනියේ නිරත වූ ක්‍රියාකාරී සංචාරය සඳහා සහභාගී වූ නිල දූත පිරිසේ සාමාජිකයෙකු වූවා ය. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා සිය සංචාරය අතරතුර ෆෙඩරල් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය. තවද, එතුමා සමාරම්භක බර්ලින් ග්ලෝබල් ඩයලොග් සමුළුව ද ඇමතී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close