විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ එල් සැල්වදෝර් සංචාරය, 2018 ජූලි 6-9

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ එල් සැල්වදෝර් සංචාරය, 2018 ජූලි 6-9

pic 1

ශ්‍රී ලංකාවේ හා එල් සැල්වදෝරයේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, 2018 ජූලි මස 6-9 යන දිනවල එල් සැල්වදෝර්හි නිල සංචාරයක නිරත විය. එරට විදේශ කටයුතු, ඒකාබද්ධතා හා ආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කාලෝස් කස්තනේදා මහතා, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවලදී එල් සැල්වදෝර් පාර්ශ්වයේ නායකත්වය ඉසිලීය.

මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරුන් දෙපළගේ අවධානයට ලක්වූ මූලික කාරණයක් වූයේ එල් සැල්වදෝරය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම ව්‍යාප්තව පවතින නිදන්ගත වකුගඩු රෝගය වැලැක්වීම සඳහා සහයෝගී ක්‍රියාදාමයක් අනුගමනය කිරීමය. සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල පවතින අභියෝගවලට මුහුණදීම සඳහා දකුණු - දකුණු සහයෝගීතා රාමුව හරහා විද්‍යාත්මක හා තාක්ෂණික සහය ප්‍රයෝජනයට ගැනීමට ඔවුහු එකඟවූහ. විද්‍යාත්මක, තාක්ෂණික, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින පොදු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ රාමුගත ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමටද අමාත්‍යවරු එකඟවූහ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට අදාළව ඔවුන්ගේ අත්දැකීම් හා භාවිතයන් බෙදාහදා ගැනීමට ශ්‍රී ලංකාව හා එල් සැල්වදෝරය එකඟවිය.

ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන කටයුතු සහ සංස්කෘතිය, විද්‍යාව හා තාක්ෂණය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත සහයෝගීතාව පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළේය. ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීමේ අරමුණින්, දෙරටෙහි අදාළ වාණිජ මණ්ඩල අතර ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමට හා වෙළෙඳ සල්පිල් සඳහා සත්කාරකත්වය ලබාදීමට අමාත්‍යවරු දෙපළ එකඟවූහ. මෙම සන්දර්භය තුළ, 2018 නොවැම්බර් මස 14-17 දිනවල සැන් සැල්වදෝර්හි පැවැත්වීමට නියමිත ද්වි-වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනයක් වන 26 වැනි ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සක්‍රීයව සහභාගී වන ලෙසට ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට එල් සැල්වදෝර් රාජ්‍යය ආරාධනය කළේය.

ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය අවසානයේදී දෙපාර්ශ්වය ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කළේය. 2020 වසරේදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවල දෙවැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයනු ඇත.

මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා එල් සැල්වදෝර් ජනාධිපති සල්වදෝර් සන්චේස් සෙරෙන් මහතාද බැහැ දුටුවේය. එල් සැල්වදෝර් රාජ්‍යය සඳහා සමගාමීව අක්තගැන්වූ හවානා නුවර ශ්‍රී ලංකා තානාපති ඒ. එල් රත්නපාල මහතාද රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී විය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 ජූලි 12 වැනිදා
pic 2
pic 3
Print Friendly, PDF & Email
Please follow and like us:

Close