විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂවරයා හමුවෙයි (WFP).

 විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂවරයා හමුවෙයි (WFP).

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝගවලට විසඳුම් සෙවීමට FAO, WFP සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විය හැකි වැඩිදුර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 මැයි 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විමලේන්ද්‍ර ශරන් සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ (WFP) දේශීය අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධිකි යන මහත්වරු හමුවිය.

මෙරට කෘෂිකර්මාන්තය, ධීවර හා පශු සම්පත් සංවර්ධනය කිරීම සඳහා FAO සහ WFP මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලය ලබා දුන් වටිනා සහයෝගය ශ්‍රී ලංකා රජයේ අවංක පැසසුමට ලක්වන  බව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන බහුවිධ අභියෝග පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙම දුෂ්කර අවස්ථාවේ දී රජයට මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට FAO සහ WFP නියෝජිතයන්  ඉටු කළ වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කළේ ය.

ආහාර සුරක්ෂිතතාව හා සබැඳි වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා FAO සහ WFP හි  පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට නියෝජිතයන් දෙදෙනාම අමාත්‍යවරයා හමුවේ සහතික වූ අතර, ඉදිරියේ දී සිදුවිය හැකි ආහාර සුරක්ෂිතතා අභියෝග අවම කිරීම සඳහා ඔවුන් සිදු කරන වර්තමාන ක්‍රියාකාරකම් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුම්වත් කළහ.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප, දිගුකාලීන සහ සුහද සබඳතා පවත්වන බවත්, දුෂ්කර අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සිය සහය ලබා දුන් බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී සඳහන් කළේ ය. මෙවැනි පසුබිමක් හමුවේ  ශ්‍රී ලංකාවට මෙම දුෂ්කර තත්ත්වයෙන් මිදීමට හැකිවන පරිදි රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහය සහ ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් සහ FAO හි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close