විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර බහුපාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර බහුපාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වයි

නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයට සහභාගීවූ විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා යළිදිවයිනට පැමිණියේය.

සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා දින පැවති පොදු විවාදය ඇමතූ අමාත්‍ය අලිසබ්රි මැතිතුමා, ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන බාහිර හා අභ්‍යන්තර අභියෝග, වත්මන් තත්වයෙන් මිදී ප්‍රකෘතිමත් භාවයට එළඹීමට සහ සෞභාග්‍යයට තුඩුදෙන දේශපාලන, සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් සපයන බව සඳහන් කළේ ය.මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාවට සහය වනලෙස එතුමා ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. තනිවම ක්‍රියාකිරීම තුළින් ජාතීන්ට සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත අර්බුද විසඳා ගත නොහැකි බැවින් මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගීතාව සහ සාමූහික ප්‍රයත්නය අවශ්‍යව ඇති ඓතිහාසික සන්ධිස්ථානයක් බව එතුමා අවධාරණය කළේය.

විදේශ අමාත්‍ය සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා හමු වූ අතර, ගුටේරස් මහතා මෙහිදී වසංගත ප්‍රතිසාධන ක්‍රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළින් ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට සහතික විය. 77වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවූ නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීන් වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය නායකයා විසින් පවත්වන ලද උත්සවයක් අතරතුර, අමාත්‍යවරයා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝබයිඩන් මැතිතුමා හමුවූ අතර,එහිදී එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ද හමුවිය.

ජාතික හෝ වාර්ගික, ආගමික සහ භාෂා සුළුතරයට අයත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයේ 30වැනි සංවත්සරය සැමරීමේ රැස්වීම, නොබැඳි ව්‍යාපාරයේ (NAM) වත්මන් සභාපතිත්වය දරන අසර්බයිජානය පැවැත් වූ අමාත්‍ය රැස්වීම, ඉස්ලාමීය පාකිස්තාන ජනරජය පැවැත් වූ 77 කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතුඅමාත්‍යවරුන්ගේ 46 වැනි වාර්ෂික රැස්වීම සහ ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව(CICA)සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරුන් පැවැත් වූවිධිමත් නොවන රැස්වීමක් ඇතුළුව ඉහළපෙළේ රැස්වීම් කිහිපයක් අතරතුර විදේශ අමාත්‍යවරයා ප්‍රකාශයන් නිකුත් කළේය.චීන මහජන සමූහාණ්ඩුව සංවිධානය කළ ගෝලීය සංවර්ධන වැඩසටහන පිළිබඳ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීමකටද අමාත්‍යවරයා සහභාගී විය. මෙහිදී තිරසාර සංවර්ධනය සඳහාවූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා කණ්ඩායමේ සාමාජික රටවලට වඩාත් හොඳින් සහයෝගය පළ කළ හැකි ආකාරය අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට බඳුන් විය.

වෙළඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා පවතින මාර්ග ගවේෂණය කිරීම සහ බහුපාර්ශ්වික සංසද හමුවේ අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ ඉහළ පෙළේ සැසිවාරයට සමගාමීව සෞදිඅරාබිය රාජධානිය, උස්බෙකිස්තානය, ආර්මේනියාව, සෝමාලියාව, ගැම්බියාව, නැම්බියාව, චීනය, කුවේටය, පාකිස්තානය, ඉරානය, ඉරාකය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවිය. එතුමා එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයාද හමුවිය.මෙහිදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් මිලියන 3ක ආධාරයක් ලබාදීමට පොරොන්දු විය. තවද, අමාත්‍යවරයා හමු වූ නේපාල විදේශ ලේකම් භාරත් රාජ්පෞද්යාල් මහතා, අන්‍යෝන්‍ය වශයෙන්වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

තවද,  විදේශ අමාත්‍ය සබ්රි මැතිතුමා  එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්දන කාර්යාලයේ උපලේකම් ව්ලැඩිමීර්වෝර්න් කොෆ් මහතා, දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ උපලේකම් රෝස්මරීඩිකාලෝ මහත්මිය,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහතා යනාදීහු හමුවිය. මෙහිදී, ත්‍රස්තවාදයට එරෙහිවීම, සාමය ගොඩනැගීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව එක්සත් ජාතීන්ගේ පුළුල් පද්ධතිය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.

අමාත්‍යවරයා හමු වූ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපරාජ්‍යලේකම් සහ USAIDහි නියෝජ්‍ය පරිපාලක ඉසොබෙල් කෝල්මන් මහත්මිය, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගවල මුහුණදීම සඳහා ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපද- ශ්‍රී ලංකා නිරතවීම් පිළිබඳව සාකච්ඡා කළා ය.

විදේශ අමාත්‍ය සබ්රි මැතිතුමා එක්සත් ජාතීන් සඳහා වන ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ පැවති උත්සවයක් අතරතුර ත්‍රෛ-රාජ්‍ය ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කළ පිරිසක් ද ඇමතී ය.

විදේශ අමාත්‍ය සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 77වැනි එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට, විදේශ කටයුතු අමාත්‍යංශයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ නිව්යෝර්ක් හි පිහිටි එක්සත්ජාතීන් සඳහා වන ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ නිළධාරීහු ඇතුළත් වූහ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 සැප්තැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close