විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පවත්වන ලදී. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා පැමිණ සිටි පිරිස ඇමතී ය. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම සාකච්ඡාවට සහභාගී විය.

දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක අදහස් සහ මත පළ කිරීම් සැලකිල්ලට ගනිමින්, සිවිල් සමාජය ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, 2022 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංශෝධනය කළ බව අමාත්‍ය සබ්රි මැතිතුමා මෙම සාකච්ඡාව ආරම්භයේ දී සිහිපත් කළේ ය.

මෙම ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ හොඳම භාවිතයන් සුරක්ෂිත කරන අතරතුර ජාතික ආරක්ෂක අවශ්‍යතා ආමන්ත්‍රණය කරන බව සහතික කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අමාත්‍ය සබ්රි මැතිතුමා විසින් විස්තර කරන ලදී. මහජනතාව, සිවිල් සමාජය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් සලකා බැලීම ඇතුළුව නවතම කෙටුම්පත සකස් කිරීමේ දී අනුගමනය කරන ලද විනිවිදභාවය හා විවෘත උපදේශන ක්‍රියාවලිය පිළිබඳව ද එතුමා මෙහිදී සඳහන් කළේ ය. යෝජිත සංශෝධන පිළිබඳ සාකච්ඡාවලින් අනතුරුව, එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, එය නැවත ගැසට් කිරීමෙන් පසුව, ඕනෑම පුද්ගලයකුට එහි ව්‍යවස්ථාපිතභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා දන්වා සිටියේ ය.

අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වැඩිදුර අදහස් ලබාගැනීම සඳහා මහජනතාව වෙත සක්‍රීයව සම්බන්ධ වීමට අධිකරණ අමාත්‍යංශය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා විසින් දැනුම්වත් කරන ලදී. පාපොච්චාරණ පිළිගැනීම, රැඳවුම් නියෝග සහ ත්‍රස්තවාදය නිර්වචනය කිරීම හා සබැඳි ගැටලු එම සාකච්ඡා අතරතුර සලකා බැලූ බව එතුමා ප්‍රකාශ කළේ ය. කෙටුම්පතේ නීති රාමුව තුළ මෙම ගැටලුවලට විසඳුම් ලබාදී ඇති ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් පහැදිලි කරන ලදී.

මෙම කෙටුම්පතේ නීතිමය රාමුවේ කැපී පෙනෙන ලක්ෂණ ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් පුල්ලේ මහතා, 2018 ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ ද එම රාමුව සකස් කිරීමේ දී අවධානය යොමු කළ අංග අතර වූ බව සඳහන් කළේ ය. නව කෙටුම්පත හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීමට අපේක්ෂා කරන බවත්, මරණ දණ්ඩනය මෙම පනතට ඇතුළත් නොවන බවත්, රඳවා තබා ගැනීමේ කාලය මුළුල්ලේ අධිකරණ අධීක්ෂණය සහතික කෙරෙන බවත් එතුමා මෙහිදී සඳහන් කළේ ය. මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියා පටිපාටිවලට යටත් වේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඵලදායී සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව නිරන්තරයෙන් දැනුම්වත් කිරීමේ කර්තව්‍යය ඔවුහු අගය කළහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

 කොළඹ

 2023 සැප්තැම්බර් 01 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close