විදේශ කටයුතු අමාත්‍යංශයේ දීපවාලි සැමරුම්

විදේශ කටයුතු අමාත්‍යංශයේ දීපවාලි සැමරුම්

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දීපාවලි උත්සවය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමරන ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ අපේ රටේ විවිධ ජන කොටස් සමගියෙන් එකට ජීවත්වන ආකාරය සහ එකිනෙකාගේ උත්සවවල ප්‍රීතිය බෙදා ගන්නා ආකාරය මෙම සැමරුම් උත්සවයෙන් පෙන්නුම් කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම ප්‍රජාවන්ට සහතික කර ඇති සමාන අයිතිවාසිකම් පිළිබඳවද ඔහු අවධාරණය කළේය.

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිය පිළිගැනීමේ කතාවේදී අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විවිධත්වය සහ දක්ෂතා මෙන්ම දීපාවලි සැමරුම් ඒකාබද්ධව සංවිධානය කිරීමේ දී ඔවුන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ද ඉස්මතු කරන ලදී.

ඉන්දියාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලි සහ නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා දීපවාලි උත්සවයේ වැදගත්කම පිළිබඳව කතා කළහ.

දීපාවලි සැමරුම් උත්සවයට ස්වාමි ගුණතිතානන්ද සරස්වතී විසින් පවත්වන ලද ආගමික වතාවත් ඇතුළත් වූ අතර ඉන් අනතුරුව අමාත්‍යාංශයේ සහ කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් ආශිර්වාද ඉල්ලා සාම්ප්‍රදායික නර්තනයන් ඉදිරිපත් කරන ලදී.

උත්සවය සංවිධානය කිරීමේ වගකීම දැරූ අමාත්‍යාංශයේ සුබසාධක සංගමයේ සභාපතිනී මනීෂා පෙරේරා මහත්මිය විසින් ස්තුති කතාව පවත්වන ලදී.

දීපවාලි සැමරුම් උත්සවයට පෙරාතුව සියලුම ප්‍රජාවන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ‘කෝලම් රටා ඇඳීමේ තරඟයක්’ සංවිධානය කරන ලදී. තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරුණි.

මෙම උත්සවයෙන් අනතුරුව දීපාවලි උත්සවය වෙනුවෙන් සාම්ප්‍රදායික ආහාර පිළිගැන්වීමක් ද පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

 

2023 නොවැම්බර් 21

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close