විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා රුවන්ඩාවේ කිගාලි හි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා රුවන්ඩාවේ කිගාලි හි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් 2022 ජූනි 21-25 දිනවල රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා සහභාගී වෙයි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් හතර (54) සහභාගී වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානී II වැනි එලිසබෙත් මහ රැජින නියෝජනය කරන වේල්ස් කුමරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව ජුනි 24 වැනි දින රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මැතිතුමා විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සමාරම්භ කරනු ලැබේ. මෙය 2022 ජුනි 24-25 දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානීන්ගේ ඉහළ මට්ටමේ රැස්වීම්වලින් අනතුරුව සහ ජුනි 23 වන දින පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) පෙරාතුව පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පවුලේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ වෙළඳ කටයුතු ඉහළ නැංවීමේ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිදුකෙරෙන කාර්යයන් ඉස්මතු කරමින්, 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වන්නේ “පොදු අනාගතයක් ලබා දීම: සම්බන්ධ කිරීම, නවෝත්පාදනය සහ පරිවර්තනය” යන්නයි.  “ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ පාලනය”, “තිරසාර සහ සියල්ල ඇතුළත් සංවර්ධනය” සහ “පශ්චාත් කොවිඩ්-19 ප්‍රතිසාධනය” යන තේමා ක්ෂේත්‍ර තුන යටතේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහභාගී වනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යන පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් කිහිපයක් සමඟ විදේශ අමාත්‍ය මට්ටමින් ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් 8 දෙනා අතර වන අතර, 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 2013 නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්විණි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 2020 ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය දෙවරක් කල් දමන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close