විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරේ

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරේ

මහජනතාව වෙත ලබා දෙන සේවාවන්හි ඵලදායීතාවය ශක්තිමත් කිරීම තුළින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට ජවයක් ලබා දීම සඳහා, විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් 2021 මාර්තු මස 13 වැනි සෙනසුරාදා දින විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ත්‍රිකුණාමලයේ දී චාරිත්‍රානුකූලව විවෘත කරනු ලැබේ.

මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම තුළින්, නැගෙනහිර පළාතේ සහ යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත ගමන් කිරීමෙන් තොරව කොන්සියුලර් සේවා රැසක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.

මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය පිහිටුවීමත් සමඟ, මහජනතාවට විදේශ රටවල දී භාවිත කිරීම පිණිස උප්පැන්න, විවාහ සහ මරණ සහතික මෙන්ම අධ්‍යාපන සහතික යනාදිය සහතික කිරීම; විදේශයන්හිදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහය ලබා දීම; සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වලට සහන හා වන්දි ලබා දීම සඳහා පහසුකම් සැලසීම; සහ මෘත දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීම වැනි කොන්සියුලර් සේවා රැසක් ලබා ගැනීමට හැකිවනු ඇත.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය සම්බන්ධ තොරතුරු පහත පරිදි වෙයි.

ලිපිනය: ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලය, ඇතුළු වරාය පාර, ත්‍රිකුණාමලය

විවෘතව තැබෙන වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා : පෙ.ව. 8:30 සිට ප.ව. 4:15 දක්වා

විද්‍යුත් තැපෑල: trincomalee.consular@mfa.gov.lk

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close