විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව විමධ්‍යගත  කිරීම අඛණ්ඩවම ගත වූ මාස දහයට ප්‍රාදේශීය කාර්යාල තුනක් ස්ථාපනය කර තිබේ

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව විමධ්‍යගත  කිරීම අඛණ්ඩවම ගත වූ මාස දහයට ප්‍රාදේශීය කාර්යාල තුනක් ස්ථාපනය කර තිබේ

විදේශ අමාත්‍යාංශය යටතේ පවතින කොන්සියුලර් සේවාව  විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

රාජ්‍ය සේවාව ගමට ගෙන යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍යාංශයේ  ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි. වත්මන් රජය යටතේ ඉකුත් මාස දහය ඇතුලත මහනුවර, ත්‍රිකුණාමළය හා කුරුණැගල දිස්ත්‍රික්ක තුළ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල තුනක් ජනතා සේවයට කැප කර ඇති බවද මේ වසර අවසානයට පෙර බදුල්ල හා අම්පාර දිස්ත්‍රික්කවල තවත් එවැනි ප්‍රාදේශිය කාර්යාල දෙකක් ආරම්භ කිරීමට මූලික කටයුතු ආරම්භ කර ඇති බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

"කොන්සියුලර් සේවාව ලබා ගැනිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිනකට කොළඹ පිහිටි විදේශ අමාත්‍යශයේ කොන්සියුලර් අංශයට  දෙදහසකට වැඩි පිරිසක් පැමිණෙන අතර කොවිඩ් වසංගත තත්ත්වය නිසා ජනතාවගේ පැමිණිම සීමා කිරීමට හා පූර්ව කාලය වෙන් කර ගැනීමකින් තොරව රාජකාරිය ඉටුකර ගත නොහැකි වන ආකාරයට සීමා පැනවීමට විදේශ අමාත්‍යාංශයට සිදුව තිබේ. මේ හේතුවෙන් අපහසුතාවයට පත්වන ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් එහි ආරම්භක පියවරක් ලෙස පළාත් මට්ටමින් කොන්සියුලර් ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කරන්නට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මගින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන්ට වන්දි, නොගෙවූ වැටුප්, සමාජ රක්ෂණ හිමිකම් යනාදිය ලබා ගැනීමටත්, විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ නැවත මෙරටට ගෙන්වා ගැනීමටත්, සහතිකපත් හා ලියකියවිලි මෙම අංශයෙන් සත්‍යාපනය කර ගැනීමටත්, විදේශයන්හි අත්අඩංගුවේ පසුවන ධීවර යාත්‍රා සහ ධීවරයන් මුදවා ගැනීමටත්, විදේශ රටවලදී සිදුවන උපත් හා මරණ ලියාපදිංචි කිරීමටත්, විදේශවල අතරමං වූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහය වීම ඇතුළු සුවිශේෂී සේවාවන් රැසක් මෙම ප්‍රාදේශීය කොන්සියුලර් සේවාව මගින් ඉටු කරවා ගත හැකිය. රාජ්‍ය සේවය ගමේ ජනතාව ළගට ගෙන යන්නැයි ජනාධිපතිතුමා ලබා දී ඇති උපදෙස් අනුව මූල්‍ය අපහසුතා මධ්‍යයේ මෙම වසර තුළ බදුල්ල හා අම්පාර කාර්යාල ස්ථාපනය කිරීමේ මූලික කටයුතු කර ගෙන යනු ලබයි. පළාත් සභා හා පළාත් පාලන ආයතනවලින් මෙම වැඩ සටහන සඳහා විශාල සහයෝගයක් ලබා දෙන බවද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය

කො‍ළඹ

2021 අගෝස්තු මස 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close