විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි

කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායක පාර්ක් බයොන්ග්- සියුග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි කොරියානු නියෝජිත පිරිස සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජනවාරි 20 වැනි දින දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම සහ විධි පිළිබඳව මෙම දිවා භෝජන සංග්‍රහය අතරතුරදී දෙපාර්ශ්වය විසින් සවිස්තරාත්මක සාකච්ඡා පවත්වන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රය, බලශක්ති උත්පාදනය සහ සන්නිවේදනය යන අංශ සඳහා විශිෂ්ට කොරියානු තාක්ෂණය සමඟ කොරියාව ශ්‍රී ලංකාව වෙත මෙතෙක් ලබා දී ඇති දැවැන්ත සහයෝගය වෙනුවෙන් කොරියානු රජය වෙත ශ්‍රී ලංකා රජයේ ගැඹුරු කෘතඥතාව පුද කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, පුළුල් ආයෝජන, ඉහළ රැකියා අවස්ථා සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා අවතීර්ණ වන ලෙස කොරියානු බලධාරීන් වෙත ඇරයුම් කළේ ය. කොරියානු ව්‍යවසායකයින් සඳහා ශ්‍රී ලංකාව තුළ මින් පෙර විශේෂ ආයෝජන කලාපයක් තිබූ බව සිහිපත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මෙම වැඩපිළිවෙළ යළි පණගැන්වීම පිළිබඳව සලකා බැලීම කාලෝචිත බව අවධාරණය කළ අතර, ඒ සඳහා ක්‍රියා කිරීමට අදිටන් කර ගන්නා බව ද ප්‍රකාශ කළේ ය.

මේ වන විට දෙරට අතර පවත්නා අපේක්ෂා සහගත ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා කොරියානු රජය තුළ ඇති කැපවීම කොරියානු කතානායකවරයා සිය සාකච්ඡාවලදී යළි අවධාරණය කළේ ය. ඉතා දිළිඳු රටවල් අතරින් එකක් වූ කොරියාව  ශතවර්ෂයක කාලසීමාව තුළ කලාපයේ ආර්ථික දැවැන්තයෙකු බවට පරිවර්තනය වීම සඳහා අනුගමනය කළ උපක්‍රම පිළිබඳව අවධාරණය කළ එතුමා, මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට ද කොරියාවේ සංවර්ධන ආකෘතිය අනුගමනය කළ හැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රධාන සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත් සඳහන් කළේ ය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මැතිනිය, ගරු කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ගරු ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා, ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජොන්ග් මැතිතුමා ඇතුළු විදේශ අමාත්‍යාංශයේ සහ කොරියානු තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. ආර්ථික සහ දේශපාලනික කරුණු හැරුණු විට, කොරෝනා වසංගතය හේතුවෙන් හටගත් අර්බුදවලට එරෙහිව කටයුතු කිරීම මෙන්ම සංහිඳියාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායකවරයා ඇතුළු දූත පිරිස 2021 ජනවාරි 19 සිට 21 යන දිනවල ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වෙති. 2022 ජනවාරි මස මුල කොරියාවේ සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස කොරියානු කතානායකවරයාට ඇරයුම් කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close