විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීම සඳහා වන පියවර

විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීම සඳහා වන පියවර

කොරෝනා වෛරසය (COVID-19)  ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා, මාර්තු 16 වනදා සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම රටවල් අතරට ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව ඇතුළත් වේ.

සම්බන්ධිත රටවල අදාළ බලධාරීන් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරීමේ සහ ප්‍රවේශය සීමා කිරීමේ පියවරයන්හි දැඩි සීමාකාරී ක්‍රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලුම සංචාරයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී පනවා ඇති සංචාරක තහනමද  සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට ඉදිරියට, නැවත දැනුම් දීමක් සිදු කරන තුරු, තාවකාලික / හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයන්ගේ මරණවලට අදාළ ලේඛන නිකුත් කිරීම හා සහතික කිරීම සහ එක් එක් සිද්ධිය මත පදනම්ව අවශ්‍ය යැයි හැඟෙන වෙනත් හදිසි කොන්සියුලර් (ප්‍රදූත) සේවය  සැපයීම සඳහා පමණක් අදාළ වන පරිදි, සිය සේවාවන් සැපයීම සීමා කිරීමට මෙම දූත මණ්ඩල විසින් කටයුතු කර ඇත. දූත මණ්ඩලවලින් සේවාවන් ලබා ගැනීම සඳහා වන පූර්ව වෙන් කර ගැනීම් මත පදනම්ව මෙම කටයුතු සිදු කරනු ඇත.

සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගැනීම් ස්ථිර කර ගැනීමට සහ සීමිත කොන්සියුලර් (ප්‍රදූත) සේවා සහ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සේවා අපේක්ෂිතයින් වෙත හදිසි ඇමතුම් අංක ලබා දී ඇත.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 14 වන දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close