ව්‍යාපාරික අංශයේ සහයෝගීතාව සඳහා සබඳතා වර්ධනය කර ගැනීම: පිලිපීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා සමඟ අන්තර් ක්‍රියාකාරී රැස්වීම

ව්‍යාපාරික අංශයේ සහයෝගීතාව සඳහා සබඳතා වර්ධනය කර ගැනීම: පිලිපීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා සමඟ අන්තර් ක්‍රියාකාරී රැස්වීම

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය, පිලිපීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති මයිකල් චන් සහ පිලිපීන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් අතර සහයෝගීතා අන්තර් ක්‍රියාකාරි රැස්වීමක් ඉකුත් 27 දා පිලිපීනයේ ශ්‍රි ලංකා තානාපති නිල නිවසේදී පැවැත්විණ. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 60 ක් සම්පූර්ණ වීමට සමගාමීව මෙම රැස්වීම පැවැත්විණ.

තවත් බොහෝ අංශ අතර, විශේෂයෙන් කෘෂිකාර්මික, යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණ-ව්‍යාපාර සැකසුම් කළමනාකරණ, සිල්ලර අපනයන වැනි හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි දෙරටේ ව්‍යාපාරික අංශය අතර වියහැකි සහයෝගීතාවයක් හා අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම සඳහා තානාපති ගුණසේකර මැතිනිය කවුන්සිලය වෙත සිය සහයෝගය ලබා දෙන බවට සහතික වූවාය. තවද, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය සහ හම්බන්තොට වරාය තුළ පවත්නා සහ අපේක්ෂිත ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ඇය පළපුරුදු ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් වන චෙන් මහතාට සහ පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්ට ආරාධනා කළාය.

මේ අතර, පිලිපීන වෙළඳපොළේ ශ්‍රී ලංකා නිෂ්පාදන වෙළඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව කටයුතු කරමින් ද්විපාර්ශ්වික වෙළඳාමේ ඇති පරතරය පියවීම සඳහා තානාපති කාර්යාලය සමඟ කටයුතු කිරීමට චෙන් මහතා කැපවන බව පැවසීය. විශේෂයෙන් නිෂ්පාදන, යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පිලිපීන ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා තානාපති කාර්යාලයේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු සඳහා තමා දක්වන සහයෝගය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දූත පිරිස, එහි කෘෂිකර්ම හා ධීවර කමිටුවේ අධ්‍යක්ෂ/ ආසියා හා ආසියාන් කටයුතු පිළිබඳ උප සභාපති රොබර්ටෝ අමෝර්ස් මහතා, ජාත්‍යන්තර සහකාර මහලේකම් ජීසස් කෝ මහතා, ජාත්‍යන්තර හා ප්‍රාදේශීය කටයුතු පිළිබඳ සහකාර මහලේකම් එඩ්වින් ග්ලින්ඩ්‍රෝ මහතා සහ විධායක සහකාර ජෝන් කොලූසෝ මහතාගෙන් සමන්විත වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 අප්‍රේල් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close