වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍යවරයා අතට........

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍යවරයා අතට……..

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ  (2020.06.24)  පස්වරුවේ අරලියගහ මන්දිරයේදි භාරදෙන ලදි.

වරාය  නගර ව්‍යාපෘතිය තුළ මෙතෙක් සිදු කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තවදුරටත් එම ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාම සඳහා මෙම වාර්තාව තුළින් නිර්දේශ ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර සිටියේ වරාය නගරය පිළිබඳ ඇති පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සම්බන්ධයෙන්ද මෙම වාර්තාවේ නිර්දේශ ලබාදී තිබෙන බවයි.

“මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ම සංකල්පය ඇති වන්නේ  2010 වසරේදි . ඊට පසුව 2013-2014 වසරවල ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තමයි මෙම වරාය නගරය සඳහා මුල්ගල තැබුවේ. ඒ වෙලාවේ හෙක්ටයාර 233ක් තමයි ගොඩකරන්න තිබුණේ.මෙම වරාය නගරයේ ආයෝජකයා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ආයෝජනය කළා. ඒ වෙනුවෙන් ඔහුට හෙක්ටයාර 108ක ප්‍රමාණයක් ලබාදුන්නා. අපේ රජයට ලැබුණා හෙක්ටයාර 62ක්.පොදු භූමි ප්‍රමාණය හෙක්ටයාර 63ක්.

නමුත් 2015 ජනවාරි මාසයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණියාට පසුව මෙම වරාය නගරයේ ඉදිකිරීම් අත්හිටුවන්නතීරණයක් ගත්තා. එම අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 143ක වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා. ඊට හිලව්  වශයෙන් යහපාලන රජය ආයෝජකයාට තවත් හෙක්ටයාර 5.1ක් ලබදුන්නා.ඒ මුළු ප්‍රමාණයෙන්  හෙක්ටයාර 113ක් ඔහුට ලැබෙන පරිදි.මෙම මිලියන 143 කියන වන්දිය හිලව් කිරීම සඳහා ආයෝජකායට අමතරව ලබාදුන් හෙක්ටයාර 5.1ක භූමි ප්‍රමාණයේ පර්චස් එකක මිල  රුපියල් මිලියන 13.338ක් ලෙස තමයි අගය කර තිබෙන්නේ.මේ ව්‍යාපෘතිය රට තුළට ආයෝජන ගලාගෙන ඒම සඳහා හොඳ අඩිතාලමක්. නිර්දේශ කර ඇති  පනත් කෙටුම්පත සම්මත වුණාට පසුව ආයෝජන කලාපය තුළ ඇති කරනු ලබන ආර්ථික කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව ආයෝජකයින්ට වැඩ කළ හැකි තත්ත්වයක් ඇති වෙයි.කිසිම බාධාවකින් තොරව එකම වහලක් යට කටයුතු කරගෙන යන්න හැකි වෙයි.”

මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට භාරදුන් අතර වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන,ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර ඇතුළු පිරිසක් සහභාගි වූහ.

විජයානන්ද හේරත්

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Print Friendly, PDF & Email
Please follow and like us:

Close