ලුම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ කඨින මහෝත්සවය නිමා වේ

ලුම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ කඨින මහෝත්සවය නිමා වේ

ලුම්බිණියේ ශ්‍රී ලංකා මහා විහාරයේ කඨින පූජාව (අලුත් සිවුරු පූජා කිරීමේ චාරිත්‍රය) 2021 ඔක්තෝම්බර් 31 වන දින ලුම්බිණි ආරාම පරිශ්‍රයේ දී සියලුම බෞද්ධ සම්ප්‍රදායන්ගේ නියෝජනයෙන් සහ බෞද්ධ ගිහි සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙවරත් කඨින පූජාව සඳහා අනුග්‍රහය දැක්වූවේ ය. කත්මණ්ඩු නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද මෙම පුණ්‍යෝත්සවය සඳහා දායක වූහ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ලුම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය ගල්ලෑහැපිටියේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි  භාරකාර නේවාසික හිමි ශාස්ත්‍රවේදි පූජ්‍ය තිස්සමහාරාමයේ පඤ්ඤාසාර හිමියන්ගේ මඟපෙන්වීම යටතේ කඨින පූජෝත්සවය ආරම්භ කෙරිණි.

මෙම ආගමික වැඩසටහන ඔක්තෝබර් 30 වන දින සවස සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරස්ථාන භූමියේ දී ආශිර්වාද පහන් පූජාවක් සහ පිරිත් සජ්ඣායනාවකින්  ආරම්භ විය. ඔක්තෝබර් 31 වන දින අලුයම පෙරහැර මධ්‍යයේ කඨින චීවරය මායාදේවි විහාරස්ථානයට වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකා මහා විහාරයට වැඩම කරවා මහා සංඝරත්නය වෙත චාරිත්‍රානුකූලව භාර දෙන ලදි.  දහවල් දානයෙන් අනතුරු ව කඨින චීවර පූජාව පැවැත්විණි. ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය නේපාලයේ සංකිච්ච හිමියෝ ඉන් අනතුරු ව කඨිනානිසංස දේශනාව පැවැත්වූහ.

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය, සාර්ක් කමිටුවේ මහලේකම් ඇසල වීරකෝන් මැතිතුමා,නේපාල සන්නද්ධ පොලිස් බළකායේ පොලිස්පති ශෛලේන්ද්‍ර ඛනාල් මහතා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ සාර්ක් මහලේකම් කාර්යාලයේ නිලධාරීන්,ශ්‍රී ලංකා දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ නිලධාරීන් මෙන් ම නේපාලයේ වෙසෙන රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් සහ ආරාධිතයන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ආගමික උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2021 නොවැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close