ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ සිටින වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය එක්ව 2021 පර්යේෂණ සමුළුව සංවිධානය කරයි

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ සිටින වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය එක්ව 2021 පර්යේෂණ සමුළුව සංවිධානය කරයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය (APSL) විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ පර්යේෂණ සම්මන්ත්‍රණය 2021’ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 25 ක නියෝජනය සහිතව අතථ්‍ය ලෙස 2021 සැප්තැම්බර් 01 වැනි දින පැවැත්විණි. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන පරමාර්ථය වූයේ, ශ්‍රී ලාංකික පර්යේෂකයින් (ආචාර්ය/දර්ශනපති) ඔවුන්ගේ පර්යේෂණ කටයුතු අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ විද්වතුන්ට ප්‍රදර්ශනය කිරීමට සහ පර්යේෂකයින්ට අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා වේදිකාවක් සැපයීමයි.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ, එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිශාන් කනගරාජා මහතා විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ආරාධිත දේශනය පැවැත්වීය. මහාචාර්ය ලියනගේ මහතා වේල්ස් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මෙම සම්මන්ත්‍රණය සැසි හතරක් යටතේ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් විසින් සිදුකළ අධ්‍යයන ඉදිරිපත් කිරීම් 12 කින් සමන්විත විය. බෙල්ෆාස්ට් හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එම්.එම්.පී.එන්. පියසේන මහතා මෙම සම්මන්ත්‍රණයේ ජයග්‍රාහකයා විය. ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ එච්.ජී.එන්. රාජපක්ෂ මහත්මිය සහ එක්සත් රාජධානියේ සැල්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මල්ෂා දේවින්දි ගීකියනගේ මහත්මිය පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනා ගත්හ.

උත්සවය අමතමින් මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය ප්‍රකාශ කළේ එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අනාගත සහයෝගීතාවය සඳහා මෙන්ම, 1 වැනි සහ 2 වැනි පරම්පරාවේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කිරීම සඳහා මෙම මුලපිරීම මඟින් මඟ පාදනු ඇති බවයි. එක්සත් රාජධානියේ වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ සභාපති තුෂාර මධුරසිංහ මහතා ද මෙම උත්සවය ඇමතුවේය.

මෙය එක්සත් රාජධානියේ එක්සත් රාජධානියේ වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරන වාර්ෂික අංගයක් බවට පත් කිරීමට මහ කොමසාරිස් කාර්යාලය අදහස් කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2021 සැප්තැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close