රුසියානු තානාපති හමුවූ  විදේශ අමාත්‍යවරයා, රුසියාව සමඟ ශ්‍රී ලංකාවේ පවතින පුළුල් සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරයි

රුසියානු තානාපති හමුවූ  විදේශ අමාත්‍යවරයා, රුසියාව සමඟ ශ්‍රී ලංකාවේ පවතින පුළුල් සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි බී. මැටරී මැතිතුමා අගෝස්තු 20 වන සිකුරාදා විදේශ අමාත්‍යාංශයේ දී නව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙම හමුවේ දී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, රුසියාව සමඟ පවතින ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිත්‍රත්වයේ සහ පුළුල් සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, බහුපාර්ශ්වික වේදිකාවල මූලධර්මය සහ අදාළත්වය යන කරුණු සම්බන්ධයෙන් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරන බව ද පැවසීය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ පත්වීම වෙනුවෙන් සුබ පැතූ තානාපති මැටරී මැතිතුමා විදේශ අමාත්‍යවරයාගේ හැඟීම්වලට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිචාර දක්වමින් වෙළඳාම, ආයෝජනය සහ සංචාරක කටයුතු, බලශක්තිය, විද්‍යාව හා තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු බහුවිධ අංශයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා රුසියාව දක්වන උනන්දුව යළි අවධාරණය කළේය.

විදේශ අමාත්‍යාංශ දෙක අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශපාලන උපදේශන; වෙළඳාම, ආර්ථික, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසම කැඳවීම සහ 2022 දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 65 වැනි සංවත්සරය සැමරීම යනාදිය පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමු කෙරිණ.

කොවිඩ්-19 වසංගතය සමඟ මානව වර්ගයා අද මුහුණ දෙන පොදු අභියෝග සඳහා හවුල් විසඳුම් සෙවීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය එකඟ වූහ.

මෙම හමුවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close